Powered By Blogger
Smile is a good reaction to the Dark World.....Keep it up every time....


Tuesday, July 31, 2018

බොඳ වෙන සරසවි සිහින...

                        Image :-fos.cmb.ac.lk

දිනෙන් දින සිහින පොදි බැඳ ගනිමින් සරසවි සිහිනය සැබෑ කර ගැනීමේ කුළුඳුල් ප්‍රාර්ථනය සිත් තබා ගෙන කොතරම් පිරිසක් තම අධ්‍යාපනික පවුර ගොඩනඟන්නට ඇති ද? දෙමාපියන්ගේ යටතේ යැපෙමින් පාසල් මෙන් ම උපකාර පන්ති සඳහා වියදම් දරමින් අසහාය කැප කිරීමකින් ඔබ ද වෙහෙසෙන්නට ඇති.

දහසකුත් වූ පොත් පාඩම් කරමින් ,දහසකුත් කරුණු මතකයේ රඳවා ගනිමින්, දහසකුත් වූ විභාග වලට සහභාගී වෙමින් දිවා රෑ වෙහෙසෙන්නට ඇති.නමුදු කොතරම් කැප කිරීම් කරමින් මහන්සි වී අවසාන කඩ ඉමට පැමිණිය ද ඔබ අතරින් සරසවි සිහිනයේ සැබෑව දකිනුයේ අතළොස්සක් පමණි.වර්තමාන අධ්‍යාපන ක්‍රමය ගොඩනැගී ඇත්තේ එලෙස ය.මෙයට වග කිව යුත්තේ ඔබ නොව වර්තමාන අධ්‍යාපන යථාර්ථය යි.

දක්ෂයින්ගෙත් අති දක්ෂයින් තෝරන මේ අධ්‍යාපනික තත්ත්වය තුළ සරසවි වරම් නොලැබූ පිරිස අදක්ෂයින් නොවේ. ලකුණු එක හෝ දෙකට සරසවි වරම් අහිමිවන කෲර සමාජයක අධ්‍යාපනය ලැබීමට සිදු වීමයි එයට හෙතුව.කුඩා අතපසු වීමකට ඔබගේ ඒ සිහිනය බොඳ කර දැමිය හැකි තත්ත්වයට වර්තමාන අධ්‍යාපනය සකස් වී තිබීම අප සැමගේ අභාග්‍යයකි.කොතරම් ඉහළ ලකුණු ලබා ගත්ත ද විශ්ව විද්‍යාලවල පවතින සීමිත ඉඩ ප්‍රමාණයට පමණක් සිසුන් බඳවා ගැනීම නිසා කොපමණ සිසු පිරිසක අධ්‍යාපනය අතරමඟ නවතින්නේද? එනිසා දෙමාපියන්ගේත්, ඔබගේත් ඒ මහන්සිය අපතේ ගියාදැයි සිතමින් මානසික ව ඇද වැටෙන සිසු පිරිසට මේ යථාර්ථය තේරුම් කර දිය යුතු ය.

එ නිසා එම අධ්‍යාපනික ගැටලුවලට විසඳුම් සෙවිය යුතු ම ය. මේ සඳහා යෝජනා ඉදිරිපත් කරමින් අදාළ බලධාරීන්ගේ අවධානය ඒ කෙරෙහි රැඳවීම අප සැමගේ වගකීමක් වනු ඇත. තව තවත් විශ්ව විද්‍යාල ගොඩනංවමින් හෝ එම දරු පිරිසගේ උසස් අධ්‍යාපන ගමන් මඟ සකසා දිය යුතු ය. ඒ වගේ ම විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරග්න්නා පිරිස තවත් ඉහළ දැමිය යුතු ය. නමුත් වර්තමානයේ නම් දැකිය හැකි වනනේ ක්‍රම ක්‍රමයෙන් විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා පිරිස අඩු කරන බවක් ය. සුවිසල් තරඟකාරී විභාගයකට මුහුණ දී ඉහළ සාමාර්ථ ලබා පැමිණිය ද සරසවි වරම් අහිමි වීම තරම් කුරිරු අවස්ථාවක් තවත් තිබේ ද?

කෙනෙකුගේ ජීවිතයක තීරණාත්මක කඩ ඉමක් ලෙස උසස් පෙළ විභාගය හඳුන්වා දිය හැකි ය. සමහරෙක් පළමු අවස්ථාවේ දී සාමාර්ථ මදිකම නිසා දෙවන ,තෙවන අවස්ථාවලත් උසස් පෙළ කිරීමට තීරණය කරති. එහෙත් කෙතරම් ඉහළ සාමාර්ථ තිබුණ ද සරසවියට ඇතුළු වීමේ කඩ ඉම් ලකුණු සඳහා තම ලකුණු අඩු වීම කෙතරම් අවාසනාවක් වනු ඇති ද? අවුරුදු ගණන් වෙහෙසී ඉගෙනුම ලබා අවසානයට පැමිණිය ද සිහින බොඳ කරමින් තම අධ්‍යාපන ගමන එතනින් කෙළවර කිරීමට සිදු වනුයේ සියලු අපේක්ෂා බිඳ දමමිනි.

එනිසා මේ දරු පරපුරෙහි අනාගතය අඳුරු වීමට ඉඩ නොදිය යුතු ය. මේ දරු පිරිසෙහි සරසවි සිහිනය සැබෑ කරවීමට අත හිත දිය යුතු ය. වත්මන් ආණ්ඩුව සමඟ ගැටුම් ඇති කර නොගෙන සාකච්ඡා මාර්ගයෙන් සුහදශීලි ලෙස මෙවන් අධ්‍යාපන ගැටලු සඳහා විසඳුම් ලබා ගත යුතු ය. කෙතරම් බලාපොරොත්තු සිත් තබාගෙන උසස් අධ්‍යාපනයේ හිනි පෙත්තට ම නැඟ සාර්ථක ජීවිතයක් මල් පල ගැන්වීමට සිටින මේ අහිංසක දරු පරපුර කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කරවිය යුතු ය. ඒ සඳහා සාධාරණ යෝජනා ක්‍රම ඉදිරිපත් කරමින් හැකි පමණ මේ අනාගතය භාර ගැනීමට සිටින දරුවන්ට සාධාරණයක් ඉටු කළ යුතු ය. එය අප සැමගේ වගකීමක් වනවා සේ ම අනාගත අභිවෘද්ධියට ද මහඟු උපකාරයක් වනු ඇත.

"සිතට ගන්න යථාර්ථය මෙයයි කියා,,,
එකඟ වෙන්න අපහට ඉඩ නැතැයි කියා,,,
සතුටු වෙන්න ජය පැරදුම එකක් කියා,,,
සටන් කරල උත්සහ කර බලමු කියා...."

(දිනිති හසින්තා )
(කැලණිය විශ්වවිද්‍යාලය )
(2018/ 08 / 01)

Saturday, July 28, 2018

සුද්දිට වුණු හදියක්.( කෙටි කතාව )

කෙමෙන් කෙමෙන් අඳුර ගලා ආවද ඒ ගැන කිසිදු තැකීමක් නොකොට සුද්දි සහ හාමිනා පාර දිගේ හෙමිහිට පියවර මැන්නේ තම නිවෙස් කරා යාමට ය.මඟ දිගට පාරේ හමු වන දෑ පිළිබඳ ව කතා කරමින් යන අතරතුර,

"ඇයි දන් නෑ නේද අර ගලට යක්කඩුවා ගල කියන්නෙ? "

යනුවෙන් සුද්දි නැඟූ ප්‍රශ්නයට හාමිනා හනිකට බැලුවේ ඈතින් පෙනෙන ඒ යක්කඩුවා ගල දිහා ය.

"ආහ්....අපේ ආච්චිනම් කිව්වෙ ඒ කාලෙ ඔය ගල උඩ ඉඳගෙන යකෙක් අඬල තියෙනවලු.යකා අඬපු ගල හින්ද යක්කඩුවා ගල කියල හැදුනලු.
ඒ ගලේ ඉඳන් යකා අඬපු හින්දා ඒ ගලට පහළ ගමේ හිටපු මිනිස්සුන්ට ඒ බෙරිහන් දෙන එක අහන් ඉන්න බැරුව හැමෝම ගම දාල යන්න ගියා ලු. ඉතින් මිනිස්සු නැති හින්ද මුළු ගම ම පාලු වුණා ලු. ආන්න ඒක හින්ද තමයි එදා ඉදන් අපේ මේ ගමේ නම 'පාලුගම'  වුණ යි කියන්නෙ. "

තමන් ඒ ගැන දන්නා නිසා හාමිනා ඒක කීවේ මඳක් ආඩම්බරයෙනි.

"යකෙක් ඇඬුවා? මෙහෙ කොහෙද යක්කු?"

යැයි අසමින් මහ හඬින් සිනාසෙමින් සුද්දි තම නිවසට යන ගුරු පාර දෙසට හැරෙන්නට වූයේ හාමිනාගෙන් සමු ගැනීමට ය.

"ඒක ඉතින් ආච්චිගෙන්ම අහන්න වෙයි"

මඳක් තරහෙන් කියමින් හාමිනා පාර අයිනේ පිහිටි තම නිවසට ඇතුළු විය.
ඉක්බිති ව  සුද්දි තම නිවස කරා තනි ව පිය මැන්නේ ඉබි ගමනිනි.
ඇය නමින් සුගන්ධී නම් වුවත් බොහෝ දෙන ඇය ඇමතුවේ සුද්දි කියා ය.මනා ව පිරිපුන් ශරීරයක් මෙන් ම පැහැපත් පියකරු මුහුණකින් යුතු ඇය පාසල් විය ඉක්ම වූ විවාහ වයසේ පසුවන්නියක් වුව ද කෙළිලොල් ව සිටීමට ප්‍රිය තැනැත්තියකි.
ගුරු පාර දිගේ ගිය ඇය නිවසට ඇතුළු වූයේ අම්මේ යැයි හඬ ගා ගෙන ය.

"ආ... ආව ද?"

ඒ අම්මාගේ හඬ ය.
පසු ව කාමරයට ගිය සුද්දි දිය රෙද්දත් ඇඳගෙන පිටුපස දොරෙන් එළියට බැස්සේ සුපුරුදු පරිදි වත්ත පහළ ළිඳට ගොස් නා ගැනීමට ය.

"කොහෙද උඹ ඔය යන්නෙ?"

අම්මා ඇසුවේ වේළෙන්නට දමා තිබූ රෙදි තෙත් කෑමට පෙර හනිකට අතට ගන්නා ගමන් ය.

"දිය රෙද්දක් ඇඳන් මං වෙන කොහෙ යන්නද අම්මේ.නාන්න යනව"

කියා ඇය කීවේ බාල්දිය අතට ගන්නා ගමන් ය.

"මේ ගොම්මන් වෙලාවෙ? මං හැමදාම කියනව මේ යක්කු ගස් නඟින වෙලාවෙ එළි පහළියට යන්න එපයි කියල.උඹ නන් කියන දේ අහන එකියක් නෙවෙයි"

අම්මා බැණ වදින්නට වූයේ සුපුරුදු පරිදිය.

"යක්කු? අපෝ මම නන් බය වෙයි යක්කුන්ට.හරි හරි මං ඉක්මනට නාගෙන එන්නන්"

යැයි කියමින් සුද්දි වත්ත පහළ ළිඳ වෙත පියවර මැන්නා ය.
වෙනදා මෙන් සුපුරුදු සිසිල් ජලය ස්නානය කරමින් ගීතයක කොටසක් මුමුණන්නට වූයේ පාළුව මකා ගැනීමේ අරමුණෙනි.නාගෙන අවසන් වී ඇය වටපිට බැලුවේ කවුරුන් හෝ සිටිනවා ද යන්න බැලීමට ය.
කිසිවෙකුත් එහි නොවූ හෙයින් හනිකට දිය රෙද්ද උනා දමා ගෙදරට අඳින ගවුම ඇඳ ගත්තේ සිසිල් සුළඟ ඇඟ දැවටෙන ගමන් ය.
මුළු පරිසරය ම අඳුරින් වෙළා ගැනීමට වූයෙන් හනිකට තුවාය ගෙන කොණ්ඩය පිස දමමින් සුද්දී බාල්දිය අතට ගෙන පිටුපස හැරුණේ නිවසට යාමට ය. එතන තිබෙන පඩියට නගින විට ම ඇයට යම් තිගැස්මක් ඇති වූයෙන් හනිකට පිටුපස බැලූ ඇය දුටුවේ කළු ම කළු පූස් තඩියෙකි.


"මේ පූසා කොහෙන් ආව ද?හැටි විතරක් කලු ම කලු යි"

කියා පූසාට බැණ වදිමින් නැවතත් හැරී නිවස දෙසට එන්නට විය.නිවසේ පසුපස දොර ළඟ තිබූ රෙදි වැලෙහි  දිය රෙද්ද වැනීමට රෙදි වැල යටින් යාමට සැරසෙන විට ම හනිකට ඈ නතර වූයේ යමක් මතක් වූ හෙයිනි.

එනම් රෙදි වැලක් යටින් රිංගා යෑම හොඳ නැතැ යි තම ආච්චී දිනක් තමාට පැවසූ බව සිහි වූ නිසා ය.අම්මා කියන දේ නෑසුව ද ආච්චීගේ බසට සුද්දි කුඩා කල සිට ම අවනත වූයේ පුරුද්දට මෙනි. පසුව පසෙකින් ගොස් දිය රෙද්ද වැලෙහි වැනූ ඈ අතෙහි වූ බාල්දිය එතන මේසය උඩින් තැබුවේ හනිකට නිවස තුළට ගොස් උණු උණුවේ තේ කෝප්පයක් බීමට ය.

නිවසට ඇතුළු ව දොර වැසීමට සැරසෙත් ම තමා දුටු දෙයින් ඈ බිරාන්ත වී ගියේ තමා දකින්නේ සිහිනයක්දැ යි සිතා ගත නොහැකි ව ය. එනම් ඈ දුටුවේ පිටුපස මිදුලෙහි පොල් ගසට පිටුපස සිට තමා දෙස එක එල්ලේ බලා සිටින කලින් ළිඳ ළඟ සිටි අර කලු පූසා ය. කලුවරේ සුද්දිට ඒ පූසා ව පෙණුනේ හොල්මනක් තමා දෙස බලා සිටින්නාක් මෙනි. මුළු ඇඟ ම හිරි වැටෙන්නාක් මෙන් දැනී ඇය හනිකට දොර වසා දමා තේ හදනවා පසෙක තබා කාමරයට දිව ගියේ විදුලි වේගයෙනි.

තම මව කුස්සියේ නොසිටි හෙයින් ඇය දිව ගියේ පූසෙක්ට බිය වී යැයි නිවසේ කිසිවෙක් නොදනී.

සිදු වූයේ කුමක් ද යන්න සිතා ගත නොහැකි තරමට ම ඇගේ සිත චංචල වීය.තම මවට ද කිසිවක් නොකියා සිටීමට සුද්දි තීරණය කළේ ඇය තමාට හොඳට දෙහි කපන බව දන්නා නිසා ය.තම ඇඟට ද යම් අමුත්තක් දැනෙන බව හැඟුණද එය අමතක වූයේ අර පූසාව මතක් වන නිසා ය.

"ඒ පූසා ළිඳට ගොඩාක් එහා ඉඳන් මගෙ දිහා බලන් හිටියෙ.ඒත් මං ආපු ටිකට ඌ කොහොමද එච්චර ඉක්මනට ගේ ළඟට ආවෙ.අනේ මන්ද ඒ කොහෙවත් යන පූසෙක්ට මං මොකට බය වෙනවද?මටත් පිස්සු."

යැයි තමාට ම කියා ගනිමින් කුස්සියට ගියේ අම්මා කෑම කන්න යැයි කියා කෑ ගැසීමට පෙර ය.කෑම පිඟාන ගෙන සාලයට විත් බත් කෑමට පටන් ගත්ත ද බත් කටවල් දෙකකට වඩා කෑමට නොහැකි වූයේ ඇයට ඔක්කාරයට මෙන් ආ නිසා ය.හනිකට පිඟාන ද ගෙන කුස්සියට දිව ගිය ඈ පිඟාන පසෙක තබා වතුර බීගෙන බීගෙන ගියේ දවස් ගාණකින් පිපාසයෙන් සිටි අයෙකු මෙනි.

"හෙමිහිට කන්න බෑනෙ මේ ළමයට කාගෙන කාගෙන යනව."

යැයි පවසමින් අම්මා ද කුස්සියට පැමිණියේ සුද්දිට කුමක් වූයේ දැයි බැලීමට ය.

"වමනෙට වගෙ ආවනෙ.අද නන් කන්න බෑ වගෙ අම්මා.හරි අමාරුයි"

කියමින් සුද්දි කාමරයට ආවෙ මවගේ බැණුම්වලින් කන පිරෙන ගමන් ය. කාමරයට ආ සැණින් ඇය ඇඳට වැටුණේ ඇඟ නිකන් තළා පෙළා දැම්මාක් මෙන් ඇයට දැණුනු නිසා ය.වෙනදාට රෑ එළි වෙනතුරු ඇහැරගෙන නව කතා පොතක් කියවන ඇය අද වේලාසනින් ම නින්දට ගිය වගක් අම්මා දැනගත්තොත් තව මගඩියක් යැයි වැටහුණු හෙයින් හනිකට ඇඳෙන් නැගිටීමට තැත් කළ ද , පුදුමයකි ඇයට නැගිට ගැනීමටවත් පණක් නොවුණි.

"මේ මොකද කවදාවත් නැතුව අද වේලාසනින් ම නිදි?"

ඇය සිතූ පරිදි ම අම්මා කාමරයට විත් විමසුවේ සැක මුසු මුහුණක් ආරූඪ කර ගනිමිනි.

"මුකුත් නෑ අම්මෙ.අද කඩ පොලේ ඇවිදල ඇවිදල මහන්සියි වගෙ.ඇඟට හරි නෑ.අම්මෙ බලන්න මට උණ ගැනෙන්නවත් එනවද කියල"

කියමින් අමාරුවෙන් මුහුණ මව දෙසට හැරවූයේ ඇස් දෙක ම තද කරගෙන අමාරුව වසන් කර ගනිමිනි.සුද්දිගේ නළලට අත තැබුවා පමණි.

"උණ? උණ නෙවෙයි සහලවලා උණ"

එහෙම කියාගෙන අම්මා,

"සුද්දිගෙ තාත්තේ මෙහෙ එන්නකො විගහට.මේ ළමයට හොඳටම උණ.ඉක්මනට වෙද මහත්තයව එක්කගෙන ආවනන් හරි"

තාත්තා දුවගෙන කාමරයට ඒමටත් පෙර අම්මා කෑ ගැසුවා පමණයි සුද්දිට මතක.

සිහි සුන් වී සිටි සුද්දි පියවි සිහියට ආවේ වෙද මහතාගේ අත් බෙහෙත්වල ගුණයෙනි.

"මේ දැරිවිට දැන් කොහොමද? මුකුත් අපහසුවක් ඇඟට දැනෙනවද?"

වෙද මහතාගේ ඒ ගොරහැඬි කටහඬට සුද්දිට වචන මතක් වූයේ ද නැත.

"හිසේ රුදාව තමයි.අම්මෝ දෙමෝලෙන් පිටි කොටන්නා වගෙයි.කටත් තිත්ත යි.ඇඟටත් හරි අමාරුවක් දැනෙනව"

සුද්දි කටහඬ අවඳි කළේ තමා කළු පූසෙක් දැක්ක කතාව කියවෙයිදෝ යන බියෙනි.

"හවස් යාමෙ නාන්න ගිය යි කිව්වා නේද?"

එය ඇසීමෙන් සුද්දිට පසක් වූයේ අම්මා සිදු වූ සියල්ල වෙද මහතාට පවසා ඇති බව යි.එහෙත් කතාවේ ඉතුරු හරිය දන්නේ සුද්දී පමණකි.

"හවස් යාමෙ ගෑණු ළමයි ඔහොම නාන්න යනවද? ඒවා සුළුවට ගන්න හොඳ නෑ.තනිකම් දෝස හැදෙන්න පුළුවන්.ඒව ටිකක් මතක තියාගෙන වැඩ කරනවනන් හොඳා."

අම්මා ද සුද්දි දෙස රවා බැලුවේ වෙද මහතාගේ කීම නිවැරදි බව තහවුරු කිරීමට ය.වෙද මහතා තනිකම් දෝස ගැන කියූ විදියට සුද්දිට බියක් ඇති විය. ඒ වගෙ ම අර කලු පූසා කලු කුමරයා වත් දැයි ඇයට සිතුණේ දිනක් ආච්චි ඇයට කියා දුන් කතාවක එවැනි දෙයක් තිබුණා යැයි මතක් වුණු හෙයිනි. එනිසා  ඇයට   මවට සිදු වූ සියල්ල කීමට වුවමනා වුවත් වෙද මහතා දැන් කසාය තුණ්ඩුවක් ලියා දුන් නිසා ඒක බීව ම සේරම හරි යයි ලෙස සිතා සුද්දි නැවත නින්දට වැටුණි.
වෙද මහතාට දිය යුතු ගතමනා දී සුද්දිගේ අම්මා වෙද මහතාට සමු දුන්නේ,

"දූලගෙ තාත්තේ වෙද මහත්තයව ගිහින් ඇරලවලා ආවානන් "

යැයි පවසමිනි. පසුව සුද්දිගේ තාත්තාට ඇය කසාය තුණ්ඩුව දුන්නේ සියාතු රාලහාමිගේ කසාය කඩය වසා තිබුණ ද උන්දෑට කතා කොට කඩය ඇරවගෙන අවශ්‍ය කළ මනා ගේන ලෙස යි.ඉක්බිති සුද්දිගෙ තත්තා පිට ව ගියේ සුද්දිව බලාගන්න යැයි ඇයට පවසමිනි.ඔවුන් පිට ව ගියාට පසු සුද්දිගෙ අම්මා වෙද මහතා බී ඉතිරි කොට තිබූ වතුර කෝප්පය ගෙන කුස්සියට ගොස් ඒක තබා නැවත කාමරයට පැමිණ නින්දට වැටී සිටි සුද්දී ළඟට පැමිණ පොරෝණය ගෙන සුද්දිගේ ඇඟට දැමුවාත් සමඟ ම,

"කලු පූසෙක් අනේ  කලු පූසෙක්.දොර වහන්න ඉක්මනට.අයියෝ.එන්න දෙන්න එපා.ඌ බලන් ඉන්න්ව.මාව කන්න එන්නෙ "

ගාගෙන සුද්දි කෑ මොර දෙන්නට විය.ඒ  කෑ ගැසීමට අහළ පහළ මිනිස්සු ද සුද්දිගේ නිවසට දුවගෙන ආවේ කරදරයක් වුණි දැයි බැලීමට ය.බියට පත් වූ සුද්දිගේ අම්මා ඉක්මනින් වතුර කෝප්පයක් සුද්දිට පොවා ඇයගේ නළලට දමා තිබූ පාංකඩය ගෙන නැවතත් වතුරෙ පොඟවා නළලෙන් තබා සිදු වුණු දෙය මුල සිට අසල්වැසියන්ට පැවසූවේ ඔවුන් ද තෘෂ්ණිම්භූත ව සුද්දී දෙස බලා සිටි හෙයිනි.

මඳ වේලාවකට පසු වෙද මහතාව නිවසට ඇරලවා නිවසට පැමිණි සුද්දිගේ තාත්තා ද කාමරයට දිව ආයේ කාමරයෙන් නැගුණු ඝෝෂාව නිසා ය.
සිදු වූ දේ දැනගත් සුද්දිගේ තාත්තා කීවේ,

" පූසෙක් ගැන කිය කියා කෑ ගැහුවේ නම් මේක මායම් ලෙඩක්.මේක බල බල ඉඳල හරියන්නෙ නෑ.ගොඩ පිළිවෙතක් කරන්න වෙනවා"

යැයි පවසා තමා කිරවා ගෙන ආ කසාය ටික සුද්දිගේ මවට දී වහා ම ගියේ ගුරුන්නාන්සේ හමු වී සුද්දිගේ කේන්දරය බලවා ගැනීමට ය. පසුව ගුරුන්නාන්සේට කන්නලව් කොට ඔහුව ඇහරවා කෙන්දරය බැලීමට දුන්නේ තම දියණියගේ රෝගය දැන ගැනීමේ නොඉවසිල්ලකිනි.

"කලු පූසෙක් දැකපු එකත් නරක දෙයක්.කේන්දරේ විදියට කුජ හොදටම දුර්වල වෙලා තියෙන්නෙ.මේ දැරිවිට කලු කුමාර දෝසයක් ඇවිත් තියෙනව වෙන්න පුලුවන් . විගහට පිළියමක් කරනවනන් හොඳා.නැත්තන් බරපතළ වෙන්න පුළුවන්"

අවසානයේ පසු දින රාත්‍රියේ ම ඇයගේ කළු කුමාර දෝසය ඉවත් කිරීමට තොවිලයක් ලක ලෑස්ති විය.එදින උදෑසන සිට ම සුද්දිගේ උණය අඩු වුණේ නම් නැත.විකාර දේවල් දොඩවමින් නිතරම කලු පූසා ගැන කියමින් කෑ මොර දෙන්නට වූයේ කලු කුමාර දිෂ්ටිය ඇයගේ ශරීරයට වද දෙනවා යැයි සුද්දිට සිතුණු නිසා ය.
                    Image - Sinhalamag.com

සුද්දිගේ යාලුවා වූ හාමිනාට ද මේ පුවත එදින ආරංචි වී ඇය ද සුද්දිගේ නිවසට ගියේ සුද්දිව බැලීමට ය. කලු කුමාර දෝසය කියන්නෙ කුමක්දැයි සැක හැර දැන ගැනීමට හාමිනාට අවශ්‍ය වූ හෙයින් ඇය සුද්දිගේ ආච්චි ඉඳගෙන සිටි තැනට ගොස් වාඩි වූයේ ඒ බව දැන ගැනීමට ය.

"ආච්චි සුද්දි ඉන්නව ද?"

යැයි හාමිනා ආච්චිගෙන් ඇසුවේ සුද්දිව බැලීමට හැකිදැයි දැන ගැනීමට ය.

"අනේ පුතේ සුද්දිනන් දැන් නිදි.තව ටිකකින් ගිහින් බලමුකො.පුතාට ආරංචි වුණා නේද වෙච්ච දේ? "

යැයි ආච්චී හාමිනාගෙන් ඇසුවේ ඇඳ සිටි චීත්ත රෙද්දෙන් මුහුණ පිසින ගමන් ය.

"ඔව් ආච්චි.ඒත් සුද්දි මාත් එක්ක ඉඳල ගෙදර ගියා විතරනෙ.එක පාරටම මෙහෙම වුණේ කොහොමද? මොකක්ද ආච්චි මේ කලු කුමාර කතාව?"

හාමිනා ප්‍රශ්න කළේ ඒ ගැන දැන ගැන්මට තිබූ උනන්දුව හෙයිනි.

ආච්චී හරි බරි ගැහී උත්තර දෙන්නට ලෑස්ති වූයේ හාමිනා ද එය දැන සිටීම වැදගත් නිසා ය.

"ඉස්සර උතුරුකරේ කියල දිවයිනක් තිබ්බා.එහෙ හිටියෙම ලස්සන ළමිස්සියො ටිකක් විතරයි.එක පිරිමි පරාණයක්වත් ඉඳල නෑ.ඉතින් මේ ළමිස්සියොත් පිරිමියෙක් දකින්න ආසාවෙන් හිටියෙ.ඔන්න ඔය අතරෙ කර දඬු උස් මහත් වෙච්ච ගැටවර කොල්ලෙක් එහෙට ඇවිත් තියෙනවා.අර ළමිස්සියො ටික මේ කොල්ලව දැකල ඒ කොල්ලව ඕනෙ කියල ඒ කොල්ලවත් තියාගෙන පොර කන්න පටන් අරන්.පස්සෙ ඒ කොල්ලට ඒ පීඩා ඉවසගන්නම බැරි වෙලා.ඒ හින්දා එයා මේ ස්ත්‍රී සංහතියෙන් ම පලි ගන්නවයි කියල හිතාගෙන තියෙනවා.අන්න ඒ පිරිමි පරාණෙ තමයි අද මේ කලු කුමාරයා වුණ යි කියන්නෙ."

කියා ආච්චී උගුර පෑදුවේ එක හුස්මට කතාව කියාගෙන ගිය හෙයිනි.

"එතකොට ආච්චි එයා කොහොමද සුද්දිට කරදර කළේ? "

හාමිනා ප්‍රශ්න කළේ සුද්දි සහ කලු කුමාරයා අතර සම්බන්ධය දැන ගැනීමට ය.

"ආහ්...අපේ එකී කියන දේ අහන එකියක් නෙවෙයිනෙ.අම්මා එපා කියද්දිම ගොම්මන් වෙලාවෙ තනියම ළිඳට ගිහින්නෙ.කොච්චර කියල තියෙනවද ගොම්මනේ නාන්න යන්න එපා කියල.ඔය ගිය වෙලේ තමයි ඔහොම බය වෙලා තියෙන්නෙ.හාමිනා දුව එහෙම ඕවගෙ වැඩ කරනව නෙවෙයි.පුළුටු මස්,තෙල් කෑම කාල එහෙමත් අවේලාවෙ එළි පහළියට යන්න හොඳ නෑ .කලු කුමාර දෝසෙ එන්නෙ ඕවගෙ තැන්වල අවේලාවෙ ගියා ම තමයි.තේරුණා ද?"

යැයි සුද්දිගේ ආච්චි ඇසූ දෙයට හාමිනා පිළිතුරු දෙන්නට වචන මිමිණුවේ ඇය කලු කුමාරයා ගැන අසා ඒ ගැන සිතමින් සිටි හෙයිනි.

"ඔ...ව් ,,,ඔ....ව්  ආච්චි" යැයි ගොත ගසමින් පවසා ආච්චිගෙන් සමු ගැනීමට හාමිනා පුටුවෙන් නැගී සිටියේ හවස් වීමට පෙර ගෙදර යාමට සිතුණේ කලු කුමාරයාගේ කතාවට බිය වූ හෙයිනි.

"මං ගිහින් රෑට අම්මත් එක්ක එන්නන් ආච්චි"

කියමින් හාමිනා සුද්දිව රෑට ම ඇවිත් මුණ ගැසෙනවා යැයි සිතා යන්නට ගියා ය.

රාත්‍රිය උදා විය.සුද්දිගේ කලු කුමාර දෝසය නැති කිරීමේ තොවිලයට අවශ්‍ය සියලු කළ මනා සූදානම් විය.ගැහැණු අය දෙදෙනෙක් තුන් දෙනෙක් තොවිලය බැලීමට ආවා මිස ඉතුරු පිරිස ම පිරිමි අය විය.හේතුව කලු කුමාරයාගේ දිෂ්ටිය සුද්දිගෙන් ඉවත් වී අන් ගැහැණු කෙනෙක්ට ඒ දිෂ්ටියේ බැල්ම වැටෙයි කියන බිය නිසා ය.

මධ්‍යම රාත්‍රිය උදා වෙද්දී පහන් පැල්වල පහන් දල්වා ගුරුන්නාන්සේ යමක් මතුරන්නට විය.

ගුරුන්නාන්සේ ඉදිරිපිට සුද්දිව වාඩි කරවූයේ සුදු රෙද්දකින් ඇඟ වසා ය.තවමත් සුද්දිගේ දෙඩවිල්ල අහවර වී නැත.එනිසා උණ විකාරෙන් දොඩවන සුද්දිගෙන් ප්‍රශ්න කීපයක් ඇසූ ගුරුන්නාන්සේ,,

"ඔය කෙල්ලව කවුරුහරි දෙන්නෙක් ඇවිත් අල්ලගනිල්ලා.අනිත් එවුන් පැත්තකට වෙලා හිටපල්ලා"

කියා මල් බුලත් තට්ටුව ගෙන අමු කහ කෑල්ලක අතුල්ලන ලද සුදු නූලක් ගෙන ඊට දුම් අල්ලමින් නාගපාසාව මතුරන්නට පටන් විය.

සුද්දිගේ අම්මා සහ සුද්දිගේ නැන්දා කෙනක් විත් සුද්දිව හොඳින් අල්ලා ගන්නා ලදි.ගුරුන්නාන්සේ යාතිකාව පටන් ගත්තේ හොඳ හුස්මක් ඉහළට ඇද පහත දමමිනි.

"ඕං නමෝ අෂ්ට බන්ද අෂ්ට භෛරවා බන්ද - ඊශ්වර භෛරවා බන්ද, විෂ්ණු බන්ද , විෂ්ණු භෛරවා බන්ද - කන්ද කුමාර බන්ද - කන්ද කුමාර භෛරවා බන්ද - නාග බන්ද - නාග කුමාරයා බන්ද - කළු කුමාර දේවතාවා නාග පාසාවෙන් බන්ද බන්ද ඒස්වාහඃ "

පසු ව ජප වූ ඒ නූලේ හත් පටට ගැට හතක් ගසා ගැටේට හත් වරක් බැගින් මතුරා සුද්දිගේ ගෙළෙහි බඳින ලදි. එය බැන්ඳායින් පසු ව තිගැස්මක් සමඟ සුද්දිගේ දෙඩවිල්ල නතර වූයේ හාස්කමකින් මෙනි.

"කෝ අනිත් කළමනා ටික ගෙනෙන්"

ගුරුන්නාන්සේගේ කීමට අවශ්‍ය දෑ ලැබුණි.

සුද්දි ඇස් දෙක පොඩි කරගෙන මේ සියල්ල බලා සිටිද්දී ඇය දුටුවේ කලු කුමාරයා මෙන් ලොකු බඩක් තියෙන,කලු පාටට ඇඳුමකින් සැරසුණු කෙනෙක් සහ ගුරුන්නාන්සේ තමා ඉදිරිපිට සිටින බව යි.ඒ දෙදෙනාගේ සංවාදය සුද්දිට හොඳින් ඇසුණි.

" උඹ කවුද ? "
             
                   "මං කලු කුමාරයා"

"උඹ මොනවද මෙයාට කළේ ? "

                  " මං  මෙයා නාන්න ගිය වෙලේ         මෙයාව බය කළා "

"ආහ් එහෙමද ? එහෙනම් උඹේ කාරිය දැන් අහවර යි.  උඹ දැන් මෙහෙ හිටියා ඇති. උඹගෙ පිදේනිය මෙන්න.මේව අරන් උඹ මෙයාගෙ ඇඟෙන් දැන් ම යන්න ඕනෙ."

                    " නෑ මං යන් නෑ. මෙයාගෙ      ඇඟට ම වෙලා ඉන්නව."

"උඹ යන් නැත්තන් උඹ ව යවන විදියත් මං දන්නවා"  

                 " ඒ කොහොමද එහෙම යවන්නෙ? ".

" මං මහා වෙසමුණියා ගෙනල්ලා උඹව යවන්නෙ"

ආදී ලෙස දෙදෙනාගේ සංවාදය ඇසී සුද්දීගේ සිතෙහි බිය පහ වූයේ ගුරුන්නාන්සේ කලු කුමාරයාව එළවා දමන බවට ඇති වූ විශ්වාසය නිසා ය.

                         Image - Citizen.lk

අවසානයේ කලු කිකිළියගෙන් ගත් බිත්තරයක් ද ගෙන ,සුද්දිගේ ඇඟිල්ලකින් ගත්  ලේ ටිකකින් කලු කුකුළු පිහාටුවක් පුළුස්සා ඒ අළු අනා එයින් ගැහැණු රුවක් ඇන්ඳේ ය.
පසු ව සුද්දිට වැහී තිබූ කලු කුමාර බැල්ම බිත්තරයට ගෙන සොහොනකට ගොස් එය බිඳ දමා දිෂ්ටිය පහ කරවූයේ සුද්දිට ද සුවය ලබා දෙමිනි.

මඳ වෙලාවක් කෙඳිරි ගාමින් සිටි සුද්දි පියවි සිහියට ආවේ ඇස් දෙක ලොකු කරමින් වටපිට බලමිනි.සිදු වූයේ කුමක්ද යන්න සිතාගත නොහැකි ව තමා ළඟ සිටි අම්මාට තුරුල් වූයේ "අනේ අම්මේ" කියමිනි.

අම්මා සුද්දිගේ ඔලුව අත ගෑවේ සේරම හරි යැයි පවසන්නාක් මෙනි.
එදින සිට නම් කිසි දිනෙක ගොම්මන් යාමයේ නාන්න නොයන බවට සුද්දි පොරොන්දු  වූයේ ඉඳගෙන සිටි පැදුර අකුළමින් සිටි තමාගේ අම්මාට ය.

"මං කියන දෙයක් කණකට ගත්තනන් මෙහෙම දෙයක් වෙන් නෑනෙ.කොහෙද ඉතින්.මේ කණෙන් අහල මේ කණෙන් පිට කරනව.එච්චරනෙ කරන්නෙ."

නැවතත් අම්මාගේ දෙහි කැපීම ආරම්භ වූ බවක් හැඟුණු නිසා සුද්දි හෙමීට එතනින් මාරු වී නිවසට ගියේ සිදු වූ දේ කල්පනා කර සිත සනසවා ගැනීමට ය.

******අවුරුද්දකට පසු******

"අද සුද්දි කසාද බඳින දවස.අපි මේ එහෙ යන්න ලැහැස්ති වෙන්නෙ"

සුද්දිගේ යාලුවා වන හාමිනා එහා ගෙදර රේණු අක්කාට කියයි.

"ආහ්,,,එහෙම ද? එහෙනන් සුද්දි ඉවසුමක් නැතුව ඇති මනමාලයගෙ ගෙදර යන්න.මේ වෙලෙන් එගොඩහනෙ මනමාලයගෙ ගෙදර තියෙන්නෙ.එහෙමයි ආරංචි. එහෙ ලස්සන ගඟක් එහෙම තියෙනවයි කිව්වෙ."

යැයි රේණු අක්කා කියන්නට විය.

රේණු අක්කාගේ බස් ඇසුණු හාමිනා,,,

"ආහ් ඕප දූපෙ එයාගෙ කණටත් ගිහිල්ලා.ගඟක් නෙවෙයි අප්පා ඒ ඇළක්"
ලෙස හීන් හඬින් තමාට ම කියගත්තේ ගමේ ගෑණුන්ටත් ඕනෙ නැති ඕප දූපයක් නෑ යයි සිතමිනි.

"නෑ නෑ එහෙ ඇළක් තියෙන්නෙ අක්කෙ.මමනන් බලන්න ගියා.මොකද මනමාලි බඳින්න කලින් මනමාලයගෙ ගෙදර යන්න හොඳ නෑ කියනවනෙ.ඒක හින්ද සුද්දිට යන්න හොඳ නැති හින්ද එයාලගෙ ගෙදර අයත් එක්ක මං ගියා එහෙ.ඇවිත් සුද්දිට එහෙ විස්තර කිව්වා.එයත් අර ලස්සන ඇළ බලන්න යන්න පුදුම ආසාවෙන් ඉන්නෙ.ඉතුරු විස්තර ටික මං මඟුල් ගෙදර ගිහින් ඇවිත් කියන්නන්කො අක්කෙ."

කියමින් හාමිනා හනිකට එළියට බැස්සේ සුද්දිගේ මඟුල් ගෙදර යාමට  පරක්කු වී ඇති යන බියෙනි.

පසුව මඟුල් ගෙදර වැඩ කටයුතු සියල්ල අවසන් වී සුද්දිගේ පවුලේ අය ඇයට සමු දී නිවෙස් කරා ගියේ සුද්දි නැති අඩුව ගැන දුක් වෙමිනි.

"කෝ සුදු අයියෙ අර ඔයාලගෙ ගෙදර තියෙනව කියල කියපු ඇළ? අනේ අපි යමුද බලන්න?"

සුද්දි ඇහුවේ තමාගේ හිමිකරු වූ  සුමුදු අයියාගේ අතෙන් අදිමින් හුරතල් වෙමිනි. සුදු අයියා යැයි ඔහුට කීවේ ආදරේට මිස ඔහු සුදු නැති බව ඇය දනී.

" ආහ්,,ඒ ඇළ තියෙන්නෙ ගේ පිටිපස්සෙ.දැන් හවස් වෙලානෙ සුද්දි.අපි හෙට උදේ ම යමුකො ඒක බලන්න"

යැයි සුදු අයියා කීවේ අඳුර වැටෙන්න ඔන්න මෙන්න නිසා ය.

"හ්ම්ම්ම්"

කියා සුද්දි ඒකට හුමිටි තිබ්බේ තමා සමඟ අමනාපයෙන් යැයි සුදු අයියාට සිතුණු නිසා ,,,

"යමු එහෙනම් ඉක්මනට බලලා එමු"

කියා සුද්දිගේ අත අල්ලාගෙන ඇළ දෙසට ගියේ සතුටින් ඉපිළ යන සුද්දීගේ සිනහව දැක තමා ද කට කොනකින් සිනා සෙමිනි"

"මේ තියෙන්නෙ අපේ ඇළ.අපේ මී මුත්තන්ගෙ කාලෙ ඉඳල ම අද වෙනකම් මේ අපේ කුඹුරු යායම පීදිලා තියෙන්නෙ මේ ඇළට පින් සිද්ධ වෙන්න තමයි සුද්දි"

කියා සුදු අයියා කීවේ සුද්දිගේ අත අල්ලාගෙන ඇළට බසින ගමන් ය.

එවෙලෙහි ම සුද්දි යමක් දැක බියපත් වෙමින් කෑ ගසන්නට විය.

"අනේ සුදු අයියේ යමු ඉක්මන්ට.අර කලු පූසා.අනේ අපි යමු.එන්නකො.අනේ අයියෝ යමු"

සුද්දි කෑ ගසන්නට වූයේ හොල්මනක් දැක්කාක් මෙන් කලු පූසාව පෙන්වම්නි.

"අයියෝ සුද්දි අනේ ඒ මගෙ පූස් තඩියා.එයා තමයි මගෙ පාලුවට මෙහෙ හිටියෙ එයාගෙ පොඩි කාලෙ ඉඳන් ම."

එහෙම කියද්දි සුද්දිට මතක් වුණේ මීට අවුරුද්දකට කලින් මං බය වුණේ මේ පූසාට තමයි කියල.

"අනේ ඒ ඔයාගෙ ද? මං බය වුණා"

කියමින් සුදු අයියාට තුරුල් වූයේ සුද්දිට එදා සිදු වූ කලු කුමාර සිද්ධිය මතක් වී තමා එදා කලු කුමාරයා යැයි සිතා බය වුණේ සුදු අයියගේ පූසාට නේද යැයි සිතමින් තමා ගැන ම ලැජ්ජාවෙනි.

එවිට ම,,,

" ඣාව්,,,ඣාව්,,,,"

කියමින් සුද්දි දෙස බලා පූස් තඩියා කුස්සියට රිංගුවේ සුද්දිව සමච්චලයට ලක් කරන්නාක් මෙනි.

පසුව සුද්දි සහ  සුදු අයියා එකිනෙකා දෙස බලා දෙදෙනා ම එකවර සිනාසුණේ පූසා අපිට බාධා නොකර මාරු වුණා නේද යැයි සිතමිනි.

                          *****නිමි*****
( HS / 2015 / 0321 )
(පී.කේ.දිනිති හසින්තා)
(සාම්ප්‍රදායික සන්නිවේදනය)










Thursday, July 26, 2018

සිය දිවි නසා ගැනීමේ නව රැල්ල....

ප්‍රශ්න වලට විසඳුම් නොසොයා ප්‍රශ්න වලින් පලා ගොස් සොයල්ලෝ ම දිවි හානි කර ගත්තේ නම් අද ලෝකයේ කිසිදු මනුෂ්‍ය රුවක් දැක ගත නොහැකි වනු ඇත.ප්‍රශ්න නැති අයෙක් මෙලොව වාසය කරයි නම් ඒ ප්‍රාණය ඇති ජීවීන් නම් නොවේ.උපන් දා සිට මරණය තෙක් මිනිසා ප්‍රශ්න වලින් මිරිකෙමින් ජීවත් වෙයි.එය යි මේ ලෝක ස්වභාවය.එහෙයින් ප්‍රශ්නවලට නොපසුබට ව මුහුණ දිය හැකි ලෙසට තම මානසික ශක්තිය ගොඩ නඟා ගත යුතු ය.හිඟන පුද්ගලයාගේ සිට ධනවත් පුද්ගලයා දක්වා ම මේ ප්‍රශ්න කන්දරාව විවිධ ස්වරූපයෙන් තමා හමුවට එයි.එම සියළු ප්‍රශ්නයන්ට මුහුණ දීම තමයි ජීවිතය කියන්නෙ.ප්‍රශ්නවල කෙළවරක් අප සිහිනයකින්වත් නොදකිනු ඇත.නමුත් වර්තමාන මිනිසා ප්‍රශ්නවලට වෛර කරයි.එනිසා ප්‍රශ්න නොවිසඳා ඒවා දුර දිග යාමෙන් කර කියා ගත දෙයක් නොමැති ව අකාලයේ තම ජීවිතයට හානි පමුණුවා ගනියි.අද ලෝකයේ අසන්නට දකින්නට ලැබෙන සිය දිවි හානි කර ගැනීම යනු ඒ ජීවිත හානියේ උපරිම අවස්ථාව යි.

මොහොතක් සිතන්න.ඔබ ප්‍රශ්නවලින් පලා ගොස් සිය දිවි නසා ගත්තේ නම් එතනින් ප්‍රශ්නය කෙළවර වේ යැයි සිතනවා නම් එය තරම් අනුවණකමක් ලොව නොමැත.ඔබ සිය දිවි හානි කර ගනියි.නමුදු ඔබගේ අම්මා,තාත්තා,සහෝදර සහෝදරියන් ,අන් සමීපතමයන් දිනෙන් දින ඔබ සිහි කරමින් මැරි මැරී ජීවත් වනු ඇත.හදිසි තීරණයක් ගෙන ඔබ කරගන්නා ඒ අකුසල කර්මයේ බරපතළකම කීමට අවශ්‍ය නැත.සිය දිවි නසා ගැනීම්වලට හේතු අතර ප්‍රේම සබඳතා බිඳ වැටීම්,ආර්ථික අපහසුතා,මානසික ව්‍යාකූලත්වය,විරැකියාව,විභාග අසමත් වීම,අපේක්ෂා බිඳ වැටීම,මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම ප්‍රධාන තැනක් ගනී.එවන් ප්‍රශ්න නිසා ගෙළ වැළලා ගැනීම්,ගඟේ මුහුදේ පැනීම්,කෝච්චියට පැනීම්,ඖෂධ අධික මාතාවෙන් ගැනීම්,වස බීම් ආදිය හරහා බොහෝ දෙනෙක් තම ජීවිතයට සමු දෙනු ඇත.

වර්තමානයේ මා දකිනා ලෙසට සිය දිවි නසාගැනීමේ රැල්ල බවට පත් වී තිබෙන්නේ ගෙළ වැළලා ගැනීම හා කෝච්චියට පැනීමයි.මේ රැල්ල බොහෝ විට දක්නට ලැබෙන්නේ තරුණ තරුණියන් අතර ය.එහි ඇති අමානුෂික ක්‍රියාව නම් තමා සිය දිවි නසා ගැනීම වීඩියෝ කිරීමයි මෙය කොතරම් අභාග්‍යසම්පන්න ක්‍රියාවක් ද?මැරෙන බව දැන දැනත් තමා සිදු කරගන්නා ඒ සිය දිවි නසා ගැනීම වීඩියෝ කිරීමට තරම් තරුණ සිත් එතරම් පහත් තත්ත්වයට පත් වන්නේ ඇයි?මෙයට හේතුව අන් කවරක් නො ව සමාජානුයෝජනයේ දුර්වලතාවය යි.තමාට පෙර සිය දිවි නසා ගත් අය ද ලියුමක් ලියා තබා ,සමාජ ජාලවල තම දුක ප්‍රකාශ කර,පසු ව සිය දිවි නසා ගැනීම වීඩියෝ කර තිබුණා නේද යැයි සිතමින් තමා ද එලෙස සිදු කළ යුතු යැයි යන බොළඳ අදහසින් තමා ද ඒ තත්ත්වයට ගොඳුරු වෙයි.මෙවන් පහත් තත්ත්වයකට මොවුන් පත් වී ඇත්තේ සමාජය හා ජන මාධ්‍ය ක්‍රියාකාරිත්වය නිසා නේද යැයි විටෙක සිතේ.ජන මාධ්‍ය හරහා සිය දිවි නසා ගැනීම් වාර්තා කිරීමේදී කිසිදු වාරණයක් සිදු නොකොට අමු අමුවේ ඒ අවස්ථාවල චායාරූප,වීඩියෝ දර්ශන ඉදිරිපත් කරයි.එනිසා තරුණ සිත් ඒවාට පෙළඹීම ප්‍රධාන වශයෙන් හඳුනා ගත හැකි ය.එවන් දර්ශන නිතර ඇසට පෙනෙන නිසා සිය දිවි නසා ගැනීම එතරම් බරපත ලෙස ඔවුන් නොදකිනු ඇත.මන් ද එය අද රැල්ලක් වී හමාර නිසා.එනිසා ප්‍රශ්නයක් ආ විගස ,දරා ගත නොහැකි වූ විට ම ක්ෂණික තීරණය වනුයේ සිය දිවි නසා ගැනීම බව ඔවුන් සිතනු ඇත.

ගණනය කිරීම්වලට අනුව වාර්ෂික ව ලෝකයේ මිනිසුන් ලක්ෂ 8 ත් 10 ත් අතර ප්‍රමාණයක් සිය දිවි නසා ගැනීම් සිදු කරගන්නා බව හඳුනා ගෙන ඇත.මේ තත්ත්වය තවත් උග්‍ර වීමට පෙර විසඳුම් සෙවිය යුතු ය.මානව සම්පත ආරක්ෂා කර ගැනීමට පාසල් මට්ටමින්,ප්‍රජා මට්ටමින් දැනුවත් කිරීම් සිදු කළ යුතු ය.සමාජ මාධ්‍ය හරහා පුහු දෑ ඉදිරිපත් කරනවාට වඩා ජීවිතයක් රැක ගැනීමට අවශ්‍ය මානසික සහනයක් ගෙන දෙන දෑ සමාජ ගත කරන්නේ නම් එය ඉතා අගනා වනු ඇත.තම ආගම දහමට යොමු කරවීම ,තම ප්‍රශ්න විසඳා ගැනීමට විවිධ ආයතන පිහිටුවා ගැනීම,ආර්ථික අපහසුතා ඇත්තවුන්ට උපකාර කිරීම ආදී වශයෙන් ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කෙසේ හෝ මේ අභාග්‍යසම්පන්න සිය දිවි නසා ගැනීම් රකුසාගෙන් වටිනා ජීවිත ආරක්ෂා කර ගත යුතු ය.තව දුරටත් මේ සිය දිවි නසාගැනීමේ නව රැල්ල අපේ සමාජ ගොඩබිමට පැමිණීමට ඇති ඉඩකඩ සියල්ල අහුරා දැමිය යුතු ය.එයයි අනාගතය වෙනුවෙන් අපේ වගකීම.ජාතියක් වශයෙන් ඉදිරියට යාමටනම් එම වගකීම අනිවාර්යයෙන් ඉටු කිරීම අපේ මනුෂ්‍ය වර්ගයාගේ සදාකාලික ජයග්‍රහණයක් වනු ඇත.

(2018/07/09)
(දිනිති හසින්තා)
(කැලණිය විශ්ව විද්‍යාලය)

Friday, July 20, 2018

🌹පාසල් දිවියක මතක අහුර...🌹

💜💜💜
එකට එක් වී ඇනූ බත් පතෙ,,,
රසය වැඩිවිය මිතුරුකම තුළ,,,
යන්නට ආසයි නැවතත් හමුවට,,,
පාසල් කාලය නොවේය අමතක...
සුදු ගවුමට මා පෙම් කළ තරමට,,,
තවමත් ඇත එය හදවත අසළම,,,
ගුරු දෙගුරුන් නම් මගදී දුටු විට,,,
නමදිමි පා යුග කළගුණ වන ලෙස...
කෙළිලොල් විලසින් දුව පැන ගිය අප,,,
අද නම් නැත ඒ සුන්දර ලෝකය,,,
ගුරු දෙගුරුන්ගේ අපමණ ඔවදන්,,,
අඩුවක් නම් නැත වූයේ අවසන්,,,
එනමුත් සොඳුරුය පාසල් දිවියත්,,,
ආයෙත් යන්නට හිතේය විගසින්...

(දිනිති හසින්තා)
(2018/07/21)

Monday, July 16, 2018

පියෙකුගේ අඳෝනාව,,,,,

දිව රෑ වෙහෙසෙයි,,,
හිඟකම් එමටයි,,,
ගතටත් වෙහෙසයි,,,
දිවියම කටුක යි...

කුලියට වැඩ කර,,,
ලැබෙනා සොච්චම,,,
වියැකෙයි හනිකට,,,
එතරම් වියදම...

මාගේ කුසගිනි,,,
ඉවසා සිටියද,,,
දරු කුසගිනි නම්,,,
නොඉවසමි කිසි දින...

පවුලට සරිලන,,,
මුදලක් නොවුණ ද,,,
ඇත පිය සෙනෙහස,,,
උතුරා මා තුළ...

මව වියෝ වූ නිසා,,,
දරු දෙදෙන මා පණ නිසා,,,
රකිමි මා දිවි පුදා,,,
නොකර වෙනසක් කිසිම දා...

නොම හඬනු මා දරුවනී,,,
නුඹට දුර ගමනක් ඇතී,,,
මා ද දිව රෑ වෙහෙස වී,,,
කාසි ගෙනෙමිය ඒ ඇතී...

(2018/07/16)
(දිනිති හසින්තා)



Friday, July 13, 2018

අවි දරා සිනාසෙන ඒ රුව....






රුදු අවිය අත දරා,,,
අව් වැසි නොබලා,,,
රට දැය සමය රැකු,,,
වීර පුතෙකි අම්මාගේ,,,
වීර පියෙකි අප සැමගේ,,,
වීර සෙබළෙකි ලක් මෑණියගේ...

දහසක් දන විලාප මැද,,,
කැප කර තම වටිනා ජීවිතය,,,
පසු නොබැස කිසි විටෙක,,,
අප දිවි ගමනේ ජීවය වූයේ  නුඹ යි...

නැතිව කුසට නිසි අහරක්,,,
නොනිද රැයවල් දහසක්,,,
ඔබ අප රැකූ තරමක්,,,
අමතක නැත ඒ කිසිවක්...

සතුරු ලොව ජයගෙන,,,
නැගූ ඒ නිදහසේ රාවය,,,
ඇසුණා දෙසවනට,,,
නිවහල් ලක් දෙරණක....

නුඹගේ විඩා රැඳි සිනහව,,,
දුටුවා එදින හොඳටම,,,
නුඹ නිසයි මේ නිදහස,,,
සදා ණය ගැති වේය අප සැම...

( දිනිති හසින්තා )
(2018/07/13 )




Wednesday, July 11, 2018

🎓සරසවි ජීවිත රස විඳුම🎓

විටෙක සටන් පිටියකි,,,
විටෙක ජයග්‍රාහී මාවතකි,,,
විටෙක ප්‍රේමණීය මාළිගාවකි,,,
විටෙක මිතුරු ලෝකයකි,,,
දිවි මගේ සොඳුරු නවාතැන්පලකි,,,
සරසවිය....

අමතක කළ නොහෙන මතක පිරි,,,
සරසවියේ මුල් අවධියේ අත්දැකීම්,,,
නැත ලැබෙනුයේ අන් කිසි තැනක,,,
එය යි තැන ජීවිතය විඳුමට ඇති...

කියා නිම කළ නොහෙන,,,
සහෝදර බැඳීමකින්,,,
අලුත් වන ලෝකය දෙස,,,
නෙත් යොමු කොට,,,
අසාධාරණකම් නොඉවසමින්,,,
සටන් වදියි,,,
අනාගතය වෙනුවෙන්...
ඉතින්,,,
එන්න,,,
එකතු වෙන්න,,,
පියමනින්න,,,
ඒ සොඳුරු ලෝකයට,,,
විඳීමට සැබෑ ජීව්තය...

(දිනිති හසින්තා)
(2018/07/12)



Monday, July 2, 2018

💜හිමි වේද අහිමි වේද - මිරිඟුවකි ආදරය.💜

සිහිනෙන් පවා නුඹෙ රූපේ පෙනෙනකොට,
හදවත කිති කැවී යයි ඒ මොහොතෙ මට,
හමුවන්නට නොහැකි වුවත් විටින් විට,
සැමදා නුඹ ලඟයි වාගේ දැනෙයි මට...

සුදු කොට ගවුම ඇඳලා නුඹ ගුරු පාරේ,
යන සැටි බලා සිටියා ඔබ දන් නෑනේ,
ඔබෙ දඟකාරකමටයි මා සිත බැඳුනේ,
නොපතමි අන් කෙනෙක් නුඹ හැර මේ සසරේ...

නුඹ තාමත් පාසල් වියේ හින්දා මා,
ඉවසා සිටිමි දුක් ළතැවුල් වී නොපමා,
නුඹගේ ජය යි සැමදා මේ හද පැතුමා,
එන්නම් දිනෙක පිළිගන්නට සොඳුරිය මා...

නුඹට වඩා මා වයසින් වැඩි වුව ද,
එය නොම වේය අපි දෙන්නට නම් බාද,
සෙනෙහස තිබේනම් හදවත් තුළ නොමද,
එක්වෙමු සදා පතමින් ඒ රුව මහද...

නුඹ ඉගෙනුම් අහවර කර පැමිණි විට,
එන්නෙමි නුඹ ව දැකගන්නට විගසකට,
දන්නෙමි නුඹේ ගෙදරින් නැත අවසරය,
එනමුදු සදා අත් නොහරිමි මා නුඹව...

පැතුමන් දරා සිටියත් මේ හද ගැබෙහී,
අවසන කුමක් වේදැයි මේ අප නොදනී,
එනමුදු නොවේවා වෙනසක් නුඹෙ හදෙහී,
නුඹ මා පතා සිටියොත් මට එය ම ඇතී...

(පද රචනය - දිනිති හසින්තා)
        (2018/07/02)




ජාතිවාදී පිළිලය

"එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා" කියා අපි රටේ ජාතික ගීය කිව්වට තේරුමක් ඇතුවයි ඒක කියන්නේ කියලා හිතනවද ? එහි ලොකු තේර...