Powered By Blogger
Smile is a good reaction to the Dark World.....Keep it up every time....


Friday, August 31, 2018

ජාතිවාදී පිළිලය

"එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා" කියා අපි රටේ ජාතික ගීය කිව්වට තේරුමක් ඇතුවයි ඒක කියන්නේ කියලා හිතනවද ? එහි ලොකු තේරුමක් තිබුණට මේ අපේ රටේ ඉන්න මිලි 20කට ආසන්න මානව ප්‍රජාව තුළ ජාතිවාදය යන සංකල්පය මුල් බැසගෙන තිබෙන ආකාරය හඳුනාගත හැකිය. එකම අහසක් යට,එකම දෙරණක,රතු රුධිරයට හිමිකම් කියන අප සියලු දෙනා අතර බෙඳීම කුමටද ? ලෝකෙන් උතුම් රට ලංකාවයි කියා කිව්වට ජාතිවාදයක් පවතින රටක් උතුම් විය හැකිද?ජාතිභේද,කුලභේද,ආගම් භේද හරහා වෙන් වෙන් වශයෙන් ජීවත් වන රටක් උතුම් නොවේ.එවන් තත්ත්වයකට පත්වීමට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ සමාජය පමණක් නොව සමාජ ජාලා ඇතුලු අනෙකුත් ජනමාධ්‍යයන්ය.

දරුවකු උපන් දා සිටම සමාජය විසින් ජාතිවාදය ඔලුවට දමන්නේ පරම්පරාගත චාරිත්‍රයක් වගේ.අන් ජාතීන් ආශ්‍රය කරන්න එපා කියා එවන් විෂබීජ දරුවගේ ඔලුවට දාන්නේ කවුද? සමාජය .මේ ආකාරයට සමාජයක මිනිසුන් සමාජානුයෝජනය වීමේ ගැටලු පවතී.එහිදී ජාතිවාදයට අනුගතව මිනිසා හැසිරෙන බව දැකගන්න පුලුවන් .ඒ වගේම සමාජ ජාලා,ජනමාධ්‍ය ආදිය හරහාද පතුරුවාලන ජාතිවාදය සුලුපටු එකක් නොවේ.මෑතකදී ශ්‍රිලංකාවේ මහනුවර ප්‍රදේශයේ ඇති වූ ජාතිවාදී අරගලය තව දුර දිග ගියානම් අද වන විට ශ්‍රිලංකාව තුළ මහා යුදගිනි ඇවිලෙමින් තිබෙනු ඇත. කිහිපදෙනෙකු අතර ඇතිවන එවන් ගැටුම් උග්‍ර වී ගියේ නම් අද අපේ රට නිදහස් රටක් නොවනු ඇත.යම් හේතුවක් මුල් කරගෙන මිනිසා,මිනිසා සමඟම සටන් වදිනුයේ කුමක් ලබා ගැනීමට දැයි නොසිතේ.

      මිනිසුන් එකිනෙකා පොර කා ගන්නේ හරියට කැලේ සතුන් වගේ.බලය පෙන්වා අන් අය පාගා දැමීමට අවස්ථාවක් ලැබෙනවා නම් ඊට එහා දෙයක් නෑ.මහනුවර සිද්ධියේදී වුවත් ක්ෂණිකවම සිදුවූයේ එම ප්‍රශ්නය සමථයකට පත් කිරීමේ අනුබල නොවේ.එනම් එම ප්‍රශ්නය උග්‍ර කරවන දෑ තත්පරෙන් තත්පරය එළියට ආවේ සමාජ ජාලා හරහාය.ඒ නිසා සමාජ ජාලා තාවකාලික තහනමකට පවා ලක් වුණා.එය ඇත්තටම නිවැරදි දෙයකැයි මා සිතනවා.එසේ නොවුණි නම් එදා 30 වසරක යුද්ධය නිම කළ අපට අදත් එවැනිම යුධ පිටියක ජීවත් වීමට සිදුවනු ඇත.කිමද සමාජ ජාලා හරහා උසි ගැන්වීම් කරන ලද ඒ ජාතිවාදී ප්‍රචාර මිනිස් සිත කැළඹීමට පත් කළේ අසුරු සැනින් වීමයි.

  එකම රටක වාසය කරන මිනිසුන් මෙවන් පුහු ජාතිවාදී ප්‍රශ්න මවා ගනිමින් රටේ නිදහස් ,නිවහල් භාවය නැති කිරීමට වෙර ගන්නේ ඇයි?මොහොතක් සිතන්න.අප ජාතිවාදී ප්‍රශ්න වගුරුවාලමින් එකිනෙකා අන් ජාති,ආගම්වලට අගෞරව කරන්නේ නම් අපේ අනාගත පරම්පරාව විශාල ප්‍රශ්නවලට මුහුණ දෙනු ඇත.ත්‍රස්තවාදී කල්ලි බලා සිටිනුයේ අප රට තුළ ගිනි ඇවිළෙන තුරුය.එවන් දෙයින් ප්‍රයෝජන ගැනීමට බොහෝ කණ්ඩායම් මාන බලමින් සිටී.ඒ නිසා ඔවුන්ට කිසිම ආකාරයකින් බුරුලක් නොදිය යුතුය.

   රට තුල එවන් ප්‍රශ්න ඇති වූ විට සාකච්ඡා මාර්ගයෙන් සුහදශීලීව විසඳා ගැනීමට කටයුතු කළ යුතුය.නැතිනම් ජාතිවාදී ප්‍රශ්නය පිළිලයක් සේ සමාජය තුළ ගමන් කොට මුලු රටම මහත් විපතකට පත් වනු ඇත.නැවත යුධ ගිනි දැකීමට අප කැමති නැත.ඒ නිසා අන් ජාතීන්ට ගරු කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් හඳුනාගනිමින් එකිනෙකාට ප්‍රේම කළ යුතුය.රට තුළ ප්‍රශ්න ඇති නොවන ආකාරයට මේ ජාතිවාදය නම් පිළිලය සමාජයෙන් තුරන් කර දැමිය යුතුය .එවිට ජාති,කුළ,ආගම් භේද නොමැතිව ශ්‍රීලංකාව යන උතුම් නාමය ලෝකය තුළ බැබළවීමට හැකියාව ලැබෙනු ඇත.

(2018 / 08 /31)
(දිනිති හසින්තා)
(කැලණිය විශ්ව විද්‍යාලය )

Wednesday, August 22, 2018

මුල් ම වැටුපේ සොඳුරු ආස්වාදය

වර්තමාන සමාජය තුළ රැකියාවක් සොයා ගැනීම යනු අතිශය සංකීර්ණ ක්‍රියාදාමයකි. හේතුව ක්‍රමයෙන් වැඩිවන ජනගහණයේ අනුපාතයට සමගාමී ව රැකියා වෙළඳපොළ ඉහළ නොයාම ය. කොතරම් සුදුසුකම් තිබුණ ද රැකියාවක් සඳහා යොමු වීමේ දී ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වනු ඇත. වර්තමාන රැකියා ක්ෂේත්‍රයේ ස්වභාවය නම් එය යි. එනිසා රැකියා සඳහා අයදුම්පත් යොමු කරමින් අදාළ රැකියාවෙහි සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන ලෙස දන්වා එවන ලිපිය එනතෙක් ඇඟිලි ගනිමින් සිටිනුයේ නොඉවසිල්ලෙනි. පසුව කෙසේ හෝ තමාට එම  රැකියාවට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණු දිනයේ කිරිබත් අනුභව කොට, දෙමාපිය ආශිර්වාදය ද ගෙන ,තමා අදහන ආගම සිහිකර ,සුබ නැකතින් එළියට බැස රැකියාව වෙත පිය මනිනුයේ අපමණ බලාපොරොත්තු පොදි බැඳගෙන ය.

එතැන් සිට තමා රැකියාවක් ලද ඒ ජයග්‍රහණය සමඟ දිනපතා සිත් බැඳි ආශාවෙන් රැකියාවට යනුයේ තම සිහින සැබෑ කරගැනීමේ සිහිනය දකිමිනි. තමා වෙහෙස මහන්සි වී දියුණුවේ මං පෙත කරා යන ඒ ගමනේ සුන්දර ම නවාතැන්පල වනුයේ තමාගේ මුල් ම වැටුප යි. මාසය අවසානයේ තම අතට හිමි වන ඒ පළමු වැටුප දෝතට ගන්නා විට දැනෙන සතුට වචනයට නැඟිය හැකිනම් කොතරම් අගනේ ද ? තම වැටුප තුළින් ඒ ලබන ආස්වාදය තමා ජීවිතයේ ලැබූ අමතක නොවන දිනයක හැඟීමක් වනු ඇත.

නමුත් වර්තමාන ලෝකය ජනප්‍රිය සංස්කෘතිය හා ගැටෙමින් ගමන් කරන නිසා අද බොහෝ දෙනෙක් තම මුල් ම වැටුප වියදම් කරනුයේ අනාගතයක් වෙනුවෙන් නම් නොවේ. ගෝලීයකරණය සමඟ අත්වැල් බැඳගත් අද තරුණ පිරිස තම පළමු වැටුපෙන් සොයනුයේ Smart Phone එකකි. එය යි අද සමාජයේ නවතම රැල්ල. මහන්සියෙන් ආහාර පිස බත් මුළක් ඔතා දී ආශිර්වාද කර තම දරුවා ව රැකියාවට පිටත් කර යවන අසරණ දෙමාපියන් ව එදිනට මතක් වනුයේ කීයෙන් කී දෙනාට ද? තම දරුවන් රැකියාව සඳහා ගොස් ජීවිතය දිනන ඒ අරමුණ ගැන හදවතින් ම සතුටු වනුයේ දෙමාපියන් පමණි. තම මුල් වැටුපෙන් දෙමාපියන් සතුටු වන යම් දෙයක් ගෙනාවේ නම් එය යි එම වැටුපේ සාධාරණත්වය. එහෙත් බොහෝ දෙනෙකුට අමතක වන කාරණය නම් එය යි.

තම දරුවන්ගේ මුල් වැටුපෙන් කිසිවක් බලාපොරොත්තු නොවුණ ද දරුවන් එම වැටුපෙන් යම් දෙයක් මිල දී ගෙන තමාට ගෙනැවිත් දුන්නේ නම් එදින දෙමාපියන්ගේ මුවඟට නැඟෙන ඒ සිනහව නම්  කිසිදා මිලට ගනු නොහැකි වනු ඇත.එ නිසා  තමා කොතරම් සමාජයේ ඉහළ තලයකට ගිය ද තමා හැදූ වැඩූ දෙමාපියන් ව අමතක කළේ නම් තම ජීවිතය ජය ගෙන කුමට ද ?

එ නිසා තමාගේ ජිවිතයේ ඒ ලැබූ පළමු වැටුපට සාධාරණත්වයක් ලබා දිය යුතුම ය. පළමු ව තම දෙමාපියන් වෙනුවෙන් අවම වශයෙන් ඇඳුමක්වත් ගෙනැවිත් දීම යුතුකමක් වනු ඇත. ඊට අමතර අනාගතය වෙනුවෙන් තම වැටුපෙන් යමක් කිරීම යහපත් වනු ඇත. තමා ලද ඒ මුදලින් සුළු ප්‍රමාණයක් අනාගතය වෙනුවෙන් වෙන් කළ යුතුම ය. එ නිසා බැංකු ගිණුමක් හෝ අරඹා එහි මුදල් ඉතුරු කිරීම ඔබගේ අනාගත ජීවිතයට මහඟු අස්වැසිල්ලක් වනු ඇත. එවිට කිසි දිනෙක තමාට පසුතැවීමට කාරණයක් ඉතුරු නොවනු ඇත.

එනිසා තමා මහන්සි වී හරි හම්බ කරගත් ඒ මුල් වැටුප අපතේ යා නොදී වැදගත් ,ප්‍රයෝජණවත් දෙයකට එය යොමු කිරීම වටිනේ ය. මුදල් යනු ජීවිතය ම නොවේ. එහෙත් ජීවත් වීමට නම් මුදල් අවශ්‍ය වනු ඇත. එනිසා තමාට ලැබුණ ඒ වැටුප Smart Phone එකකට ම නොදී ජීවිතයේ සමීපතම කාරණාවලට යොමු කිරීම යහපත් වනු ඇත. එ නිසා නිකරුණේ මුදල් වියදම් නොකර අනාගතය වෙනුවෙන්, තම දෙමාපියන් වෙනුවෙන් යමක් කළ යුතු ය. ජනප්‍රිය සංස්කෘතිය හා බැඳුණු පුහු දේවල් සමඟ ගැටෙමින් තම අනාගතය වෙනුවෙන් ඉදිවනඒ මාර්ගය අවහිර කර නොගෙන තම රැකියාවේ ආස්වාදය විඳිමින් ජීවිතය ගොඩ නඟා ගත යුතු ය. එ නිසා තමගේ මුල් වැටුප මෙන් ම පසුවට හිමිවන මාසික වැටුප් ද නිකරුණේ සිදී යාමට නොදී වැදගත් දෙයකට යොමු කර ,අනාගත ආයෝජනය කෙරෙහි අවධානය දෙමින්, කළමනාකාරිත්වයකින් එම මුදලට සාධාරණත්වයක් ඉටු කළ යුතු ය. එමගින් තම ජීවිතය සාර්ථක කර ගැනීමේ ඒ යහපත් ව්‍යායාමය කිසිදා අපතේ නොයනු ඇත.

( 2018 /08 /22 )
(දිනිති හසින්තා)
(කැලණිය විශ්ව විද්‍යාලය)

Monday, August 20, 2018

කාර්මීකරණයෙන් වැනසෙන ලෝකය...


වර්තමානයේ අප ජීවත් වන සමාජයේ මානව සම්පත් හා භෞතික සම්පත් දෙස අවධානය යොමු කිරීමේදී හඳුනාගත හැකි බොහොමයක් නව සංකල්ප පවතී. මීට අවුරුදු 40 කට පමණ පෙර කාලය සහ වර්තමානය අතර සංසන්දනාත්මක ව කරුණු සළකා බැලීමේදී එදා සහ අද දක්වා කාලය තුළ ලබා ඇත්තේ සාර්ථක දියුණුවක් ද? වර්තමානය තාක්ෂණය අතින් හිනි පෙත්තට ම නැඟ ඇත. එ නමුදු මනුෂ්‍ය වර්ගයා කායික සහ මානසික මෙන් ම ගුණාත්මක අතින් ද පිරිහීමක් ලබා ඇති බව වර්තමාන ලෝකය දෙස දෘෂ්ටිය යොමු කිරීමෙන් මනා ව පිළිඹිබු වෙයි.

අතීතයේ මිනිසා කිලෝමීටර් තුන හතරක් පවා පයින් ගමන් කර තම අවශ්‍යතා ඉටු කර ගන්නා ලදි. නමුත් අද තම පෞද්ගලික වාහනයෙන් හෝ මුදල් ගෙවා වෙනත් ආකාරයෙන් ප්‍රවාහන කටයුතු සිදු කර ගනී.දරුවන් පාසලට යාම, වැඩිහිටි ප්‍රජාව රැකියා කරා යාම හෝ වෙනත් අවශ්‍යතා ඉටු කර ගැනීමට පයින් ගමන් කරනුයේ 2 % ක් පමණ ය.

ඒ වගේ ම එදා ගෘහණියක් දෙස බැලූ විට මිදුල හා නිවස පිරිසිදු කිරීම ,ළිඳෙන් ජලය ඇද ගැනීම, මිරිස් ගල භාවිතය ,පොල් ගෑම ,වී කෙටීම, හාල් පෙළීම ,දර සපයා ගැනීම ආදී කටයුතු රාශියක් ඇය අතින් සිදුවිය. එම නිසා ඇයගේ මාංශ පේශිවල ක්‍රියාකාරිත්වය පවා හොඳින් සිදු විය.නමුත් වර්තමානයේ මේ සියලු කාර්යයන් තාක්ෂණික උපකරණ භාර ගෙන ඇත.ළිඳෙන් ජලය ඇද ගැනීම වෙනුවට ජල නළ භාවිතය ,යන්ත්‍රානුසාරයෙන් පොල් ගෑම ,වී කෙටීම ,හාල් පෙළීම සිදු කරන නිසා ගෘහණියගේ වැඩ කටයුතු පහසු වී ඇත.නමුත් ඇගේ ක්‍රියාකාරිත්වය ශුන්‍ය වී ඇත.

මේ ආකාරයට සියලු කාර්යයන් පහසුවෙන් කර ගැනීමට හැකියාව ලැබුණ ද මිනිසාගේ ක්‍රියාකාරිත්වය මේ නිසා ඇණ හිට ඇත.එනිසා ඔවුන්ට විවිධාකාර රෝග වැළඳීමේ ප්‍රවණතාවයක් වර්තමානයේ දැක ගත හැකි ය.කය වෙහෙසා කිසිදු කාර්යයක් නොකරන නිසා ශාරීරික රෝග වැළඳීම තුළින් මිනිසාගේ ආයුෂ ප්‍රමාණය ක්‍රමයෙන් පහළ යන බව වර්තමාන වෛද්‍යවරුන් විසින් ගණනය කිරීම් සිදු කර ඇත.

ඒ වගේ ම ආහාර පානවල එදා සහ අද සිදු වී ඇති වෙනස්කම් පිළිබඳ ව අවධානය යොමු කර බැලිය හැකි ය. එදා සෑම ගෙවත්තක ම එළවළු ,පලතුරු වවා තම ගෘහ පරිභෝජනයට ගත් අතර ඒවා අලෙවි කිරීම තුළින් ද නිවසේ ආර්ථිකයට වාසියක් ලැබුණි. නමුත් අද එවැනි තත්ත්වයන් දකින්නට ලැබෙන්නේ ද කලාතුරකිනි. අද මිනිසා ආහාරයට ගන්නා ආහාර පාන රසකාරකවලින් මිශ්‍ර ය. එමෙන් ම අද මිනිසාගේ පහසුවට ක්ෂණික ආහාරවලට නැඹුරු වීමේ ප්‍රවණතාවය ද ඉතා ඉහළ ය. එදා අල, බතල ,කොස් ආදී ආහාරවලින් කෑම වේල පිස ගන්නා ලදි. එදා කොස්වලින් වේලක් පිරිමසාගත්ත ද අද ගස් යට කොස් වැටී කුණු වී යයි. අටු කොස්, වැලි කොට අද දරුවන් පවා නොදන්නා දෙයකි. රසකාරක ආදිය දමා පිසූ ආහාර පාන ආදියට හුරු වූ අද බොහෝ පුද්ගලයන්ට දියවැඩියාව ,අධි රුධිර පීඩනය ,කොලෙස්ටරෝල් ආදී රෝග තත්ත්වයන්ට ගොදුරු වී ඇති බවක් දැකිය හැකි ය.

මීට අමතර ව කාර්මීකරණය වූ වත්මන් සමාජයක හඳුනා ගත හැකි අයහපත් ප්‍රතිඵලයන් එමට ය. පරිසර දූෂණයේ මූලාරම්භය වූ එක් අංශයක් වන්නේ පොලිතින්, ප්ලාස්ටික් භාවිතයට ගැනීම යි. අද ලෝකයේ සෑම භාණ්ඩයක් ම පොලිතින්, ප්ලාස්ටික්වලින් තොර නැත. එය අවසානයේ එකතු වනුයේ පරිසරයට ය. එය පරිසරයට මෙන් ම මනුෂ්‍ය ජීවියාට ද විශාල ගැටලු ඇති කරවන්නකි. පරිසර දූෂණයේ තවත් අංශයක් නම් ජනගහණයේ වර්ධනයත් සමඟ ඉඩම් කැබලි වීම යි. එ තුළින් වනගහණය අඩු වීමත් නිසා දුර්ලභ සත්ත්ව විශේෂ වඳ වීමත්, ගස් කැපීම ආදිය නිසා නායයාම් ආදී ස්වාභාවික විපත් රැසකට මුහුණ දීමට සිදු වී ඇත.
මේ ගැටලු කීපයක් පමණි.

මේ ගැටලු කීපයෙන් හෝ මිදීමට අපට කළ හැකි දේ නම් මිනිසාගේ ආකල්ප වෙනස් කිරීම යි.ක්ෂණික ආහාර ද්‍රව්‍ය ගැනීම අඩු කිරීම පොලිතින් භාවිතය අඩු කර ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගැනීම සිදු කළ හැකි ය. ගස් වැවීම වැඩි කර රසායනික පොහොර වෙනුවට කොම්පෝස්ට් වැනි පොහොර භාවිත කළ හැකි ය. පාසල් දරුවන්ට කුඩා කළ සිට ම මේ පිළිබඳ අවබෝධයක් ලබා දී නිවැරදි පිළිවෙත්වලට හුරු කිරීම කළ හැකි ය. මෙහිදී වත්මන් රජයට මේ සඳහා මැදිහත් වීම සිදු කරමින් ඒ සඳහා දායකත්වය ලබා දිය හැකි ය. එමඟින් කාර්මීකරණය තුළින් වැනසෙන අපේ ලෝකය ආරක්ෂා කිරීමේ උතුම් කාර්යයට අපිට ද දායක වීමට හැකියාව ලැබෙනු ඇත.

( 2018/ 08/ 20 )
( දිනිති හසින්තා )
( කැලණිය විශ්ව විද්‍යාලය )

Thursday, August 9, 2018

සංස්කෘතික මිථ්‍යාව

මව් කුසින් මෙලොවට පැමිණි අප සියලු දෙනා සිටිනුයේ එක අහසක් යට වුව,එක පොළොවක් මත වුව,ආශ්වාස කරනුයේ එක ම වායුව වුව මිනිසුන් සිතනුයේ එකිනෙකට වෙනස් ආකාරයට ය.එය නම් මානුෂීය ස්වභාවය යි.අප සැමගේ රුධිරය එක ම පැහැය වුව මිනිසුන් සමාජය තුළ ජාති,ආගම් ලෙස බෙදී වෙන් වී ගොස් ඇත.හැඩයෙන්,පැහැයෙන් ,ශරීර අංගයන්ගෙන් එකිනෙකා වෙනස් වුව ද අප සැම එක ම මනුෂ්‍ය වර්ගයකි.නමුදු අතීතයේ සිට ම මිනිසා සංස්කෘතිය හා යමින් කොටස් වශයෙන් බෙදී සිටී.සොබාදහමින් කළ බෙදීමක් නො ව මෙය නම් මිනිසාගේ සංස්කෘතික බෙදා ගැනීමකි.

" සංස්කෘතිය යනු මිනිසා විසින් ඉගෙන ගෙන, එක් රැස් කර ගන්නා වූත්, බෙදා හදාගෙන පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යනු ලබන අදහස්, උදහස් හා හුරුපුරුදු ය" මේ 1936 රැල්ෆ් ලින්ටන්ගේ විග්‍රහය යි.සංස්කෘතිය හා මිනිසා අතර පවතින්නේ අවියෝජනීය බැඳීමක් නිසා එයින් ගළවා ගැනීම පහසු නැත.සංස්කෘතිය හරහා අප කන බොන දෑ සිට අඳින, පළඳින ,ගමන් බිමන්,හැසිරීම ,කතා කරන විධි ආදී සියල්ල ගොඩ නඟා හමාර ය.එම සංස්කෘතියෙන් බැහැර ව හැසිරෙන්නේ නම් සමාජයේ හිමිවන පහත් තත්ත්වය ඔබ වුව අත් විඳ තිබිය හැකි ය.

මේ අතර කාන්තාව හා සංස්කෘතිය යන සංකල්පය අද බොහෝ දෙනා අතර අතීතයේ සිට ම කතාබහට ලක් වේ. සංස්කෘතිය හරහා කාන්තාව සීමාසහිත වපසරියකට කේන්ද්‍ර ගත කොටතිබෙනු දැක ගත හැකි ය. කාන්තාව යනු සංවර ව සිටිය යුතු, ඝෝෂාකාරී ව කතා නොකළ යුතු ,ගෙදර දොර වැඩ කටයුතු කළ යුතු කළ යුතු යැයි සමාජය තීරණය කර තිබීම කණගාටුවට කරුණකි. ඒ ආකාරයට බොහෝ දුක් ගැහට විඳීමට සිදු වන ඇයව සංස්කෘතිය යන යදම්වලින් බැඳ සමාජ ස්ථරය තුළ කොටු කර ඇත. මේවා සොබාදහම තීරණය කළ දේවල් නො ව මිනිසා ගොඩනඟා ගත් පුහු ආටෝපයන් ය.

කාන්තාවට ආර්ථිකය අතින් ශක්තිමත් වීම සඳහා රැකියාවක නියුතු වීම සමාජය එතරම් පිළි නොගන්නා දෙයකි. හේතුව ඇය නිවසේ වැඩ කටයුතු බලා ගැනීමට සිටිය යුතු නිසා ය. එ ය ඉතා ම අසාධාරණයකි. සංවර්ධනය වන රටකට එවන් දෑ විශාල බාධාවක් වුව ද සංස්කෘතියේ එල්බ සිටින මිනිසා එය වෙනස් කිරීමට සූදානම් නොවේ.තව ද කාන්තාවට සිදුවන අසාධාරණකම් ලෙස ඇතැම් සංස්කෘතික සමාජවල ගැහැණු දරුවන් ඉපදීම අවාසනාවකැයි සිතා ළදරු වියේදී ම ඔවුන් ව මරා දමන බව දැක ගත හැකි ය.තවත් ආගම්වල කාන්තාවන්ට සමාජයේ හිමි ස්ථානය ඉතා පහත් කොට ඇත.එ නිසා ඔවුන්ට තම ස්වාධීන තීරණ ගැනීමේ බලය අහිමි කොට ඇත.

තව ද සංස්කෘතිය හරහා ගොඩනගා ඇති කාන්තාවගේ විවාහය හා සම්බන්ධ දෑ කතාබහට ලක් විය යුතුම ය.විවාහයේ දී කන්තාවගේ කන්‍යා භාවය යන්න සංස්කෘතික වශයෙන් පිළිගන්නා අත්‍යන්ත අවශ්‍යතාවයකි. එහිදී විවාහයට පෙර කාන්තාව ලිංගික සබඳතා පැවැත්වීම තහනම් කොට ඇති නිසා විවහයට කන්‍යා හාවය බිඳී යැයි ඔප්පු වුවහොත් ඇයට ව්ඳීමට සිදුවන අපහාස, අවලාද එමට වනු ඇත. නමුදු පිරිමි පාර්ශ්වය විවාහයට පෙර ලිංගික සබඳතා පවත්වාඇතිදැයි තීරණය කිරීමට සාධක නොමැති නිසා ඔවුන්ට එවන් තහනමක් නොමැති නම් කාන්තාවට පමණක් සිදු කරන මේ අසාධාරණය කුමක්ද?

මෙතරම් විද්‍යාව, තාක්ෂණය දියුණු ලෝකයක තවමත් සංස්කෘතිය හරහා කාන්තාව අපහසුතාවයට පත් කරයි නම් ඒ ලබන දියුණුවෙන් කිනම් ඵලයක් ද? එනිසා සංස්කෘතික බෙදීම් ඉවතලා ජාතියක් වශයෙන් ඉදිරියට යාමට කාන්තාව ශක්තිමත් කළ යුතු ය. ශ්‍රි වාදය යන්න තහවුරු කොට කාන්තාව මේ සංස්කෘතික අසාධාරණකම්වලින් බේරා ගත යුතු ය. සමාජය තුළ සංස්කෘතියක් තිබිය යුතු ය. නමුදු හුදු මිථ්‍යාවන් රැසක් තුළින් කාන්තා පාර්ශ්වය ශාරීරික ,මානසික පීඩාවට පත් කිරීම යුක්ති සහගත නොවනු ඇත.

ඒ ආකාරයට මේ සංස්කෘතික බෙදීම නිසා වර්තමාන සමාජය ගැටුම් බොහොමයකට හේතු වී ඇත.කෙසේ හෝ මේ බෙදීම් දුරලමින් සංස්කෘතිය ආරක්ෂා කර ගනිමින් සමාජය තුළ ඉදිරියට යාමට කටයුතු කළ යුතු ය.නැතහොත් සංවර්ධනය කරා යන මේ ගමනට බාධා පැමිණෙනු ඇත.ඒ නිසා සංස්කෘතික ලැග්ම තුළ ම එල්බී නොසිට රටේ අනාගතය වෙනුවෙන් එකාවන් ව වැඩ කළ යුතු ය.එය යි අනාගතය වෙනුවෙන් අප සැමගේ වගකීම.

( දිනිති හසින්තා )
(2018/ 08/ 24)
(කැලණිය විශ්ව විද්‍යාලය )

Saturday, August 4, 2018

Exam භීතිකාවට තිත.

Exam කියන්නෙ අපිට අහල පුරුදු නැති දෙයක් නෙවෙයිනෙ.මේ Exam වලින් තමයි අපේ ජීවිතේ තීරණය වෙන්නෙ කියනව.ඒක හින්ද Exam වලට හොඳින් මුහුණ දෙන්න පුලුවන් විදියට අපි ඒකට සූදානම් වෙන එක තමයි තියෙන්නෙ.Exam කියන දේට කොයි වෙලාවකවත් බය වෙන්න එපා.

Stress ගන්නෙ නැතුව දැන් ඉඳන් ලැහැස්ති  වෙන්න පාඩම් කරන්න.අපිට මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ කියනවනෙ.හිතට ගත්තොත්  මං දැන් ඉඳන් පාඩම් කරනව කියල අපේ හිත ඒ අධිෂ්ඨානෙ වෙනුවෙන් අනිවාර්යයෙන් ම ලැහැස්ති වෙනව.ඒක තමයි අපේ හිතේ ස්වභාවය.අපි නොහිතුවට අපේ හිතට පුදුම බලයක් තියෙනව.ඒක හින්ද පාඩම් කරන්න කලින් හිතට කියන්න මං මේ ටික කොහොමහරි පාඩම් කරනව.ඒකට ශක්තිය ඉල්ලගන්න හිතෙන්.අනිවාර්යයෙන් හිත ඔයාට උදව් කරනව ආයෙ කතා දෙකක් නෑ ඒකෙ.

එක හින්ද මේ දැන් පටන් ගන්න.මට පුලුවන්, මං මේක ගොඩ දාගන්නවමයි කියල හිතා ගන්න.Try and try one day you can fly.ඔහොමත් කතාවක් තියෙනවනෙ.මේව ඇත්ත ඉතින් මේව තමයි යථාර්ථය.මේවයෙන් ප්‍රයෝජනයක් ගන්න අපි දැනගන්න ඕනි.අන්න ඒකයි ජීවිතේ කියන්නෙ.

Exam කියල බයේ දුක් විඳින්න ඕනි නෑ.එහෙම දුක් වුණයි කියල ලැබෙන දෙයක් තියෙනවද කියල ඔයාම හිතල බලන්නකෝ.ලැබෙන දෙයක් නෑ.ඒක හින්ද  හැමදෙයක්ම අමතක කරල ගන්න අතට පොතක්.පොතට වැඳල එහෙම  හිතට ගන්න මං මේකෙ සේරම පාඩම් කරනවමයි කියල. කරල ම බලන්නකෝ හිතට එන ඒ ශක්තියට මොනවද කරන්න බැරි කියල.

Don't worry.Exam is not our life

Exam එක වුණත් හිතේ සැහැල්ලුවෙන් කරන්න.Exam එකකට බෑ අපිව වට්ටන්න.වැඩිය හිතන් නැතුව ලැහැස්ති වෙන්න.වෙලාව මදි නම් පුලුවන් වෙලාවෙ හරි පුලුවන් ටික සුපිරියට පාඩම් කරන්න.ආයෙ බය වෙන්න දෙයක් නෑ එතකොට.එහෙනම් මේ පුලුවන් දවස් ටිකේ වැඩේ කොහොමහරි ගොඩ දාගමු.ඉලක්කයක් තියාගෙන වැඩ කරමු.වැඩේ අත ඇරෙන්න දෙන්න එපා.මේ හැම දෙයක් ම මතකෙ තියාගෙන වැඩ කරන්න.ඔබට ජය !!!!

(2018/08/04)
(දිනිති හසින්තා)
(කැලණිය විශ්ව විද්‍යාලය)

ජාතිවාදී පිළිලය

"එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා" කියා අපි රටේ ජාතික ගීය කිව්වට තේරුමක් ඇතුවයි ඒක කියන්නේ කියලා හිතනවද ? එහි ලොකු තේර...