Monday, August 20, 2018
කාර්මීකරණයෙන් වැනසෙන ලෝකය...
වර්තමානයේ අප ජීවත් වන සමාජයේ මානව සම්පත් හා භෞතික සම්පත් දෙස අවධානය යොමු කිරීමේදී හඳුනාගත හැකි බොහොමයක් නව සංකල්ප පවතී. මීට අවුරුදු 40 කට පමණ පෙර කාලය සහ වර්තමානය අතර සංසන්දනාත්මක ව කරුණු සළකා බැලීමේදී එදා සහ අද දක්වා කාලය තුළ ලබා ඇත්තේ සාර්ථක දියුණුවක් ද? වර්තමානය තාක්ෂණය අතින් හිනි පෙත්තට ම නැඟ ඇත. එ නමුදු මනුෂ්‍ය වර්ගයා කායික සහ මානසික මෙන් ම ගුණාත්මක අතින් ද පිරිහීමක් ලබා ඇති බව වර්තමාන ලෝකය දෙස දෘෂ්ටිය යොමු කිරීමෙන් මනා ව පිළිඹිබු වෙයි.
අතීතයේ මිනිසා කිලෝමීටර් තුන හතරක් පවා පයින් ගමන් කර තම අවශ්‍යතා ඉටු කර ගන්නා ලදි. නමුත් අද තම පෞද්ගලික වාහනයෙන් හෝ මුදල් ගෙවා වෙනත් ආකාරයෙන් ප්‍රවාහන කටයුතු සිදු කර ගනී.දරුවන් පාසලට යාම, වැඩිහිටි ප්‍රජාව රැකියා කරා යාම හෝ වෙනත් අවශ්‍යතා ඉටු කර ගැනීමට පයින් ගමන් කරනුයේ 2 % ක් පමණ ය.
ඒ වගේ ම එදා ගෘහණියක් දෙස බැලූ විට මිදුල හා නිවස පිරිසිදු කිරීම ,ළිඳෙන් ජලය ඇද ගැනීම, මිරිස් ගල භාවිතය ,පොල් ගෑම ,වී කෙටීම, හාල් පෙළීම ,දර සපයා ගැනීම ආදී කටයුතු රාශියක් ඇය අතින් සිදුවිය. එම නිසා ඇයගේ මාංශ පේශිවල ක්‍රියාකාරිත්වය පවා හොඳින් සිදු විය.නමුත් වර්තමානයේ මේ සියලු කාර්යයන් තාක්ෂණික උපකරණ භාර ගෙන ඇත.ළිඳෙන් ජලය ඇද ගැනීම වෙනුවට ජල නළ භාවිතය ,යන්ත්‍රානුසාරයෙන් පොල් ගෑම ,වී කෙටීම ,හාල් පෙළීම සිදු කරන නිසා ගෘහණියගේ වැඩ කටයුතු පහසු වී ඇත.නමුත් ඇගේ ක්‍රියාකාරිත්වය ශුන්‍ය වී ඇත.
මේ ආකාරයට සියලු කාර්යයන් පහසුවෙන් කර ගැනීමට හැකියාව ලැබුණ ද මිනිසාගේ ක්‍රියාකාරිත්වය මේ නිසා ඇණ හිට ඇත.එනිසා ඔවුන්ට විවිධාකාර රෝග වැළඳීමේ ප්‍රවණතාවයක් වර්තමානයේ දැක ගත හැකි ය.කය වෙහෙසා කිසිදු කාර්යයක් නොකරන නිසා ශාරීරික රෝග වැළඳීම තුළින් මිනිසාගේ ආයුෂ ප්‍රමාණය ක්‍රමයෙන් පහළ යන බව වර්තමාන වෛද්‍යවරුන් විසින් ගණනය කිරීම් සිදු කර ඇත.
ඒ වගේ ම ආහාර පානවල එදා සහ අද සිදු වී ඇති වෙනස්කම් පිළිබඳ ව අවධානය යොමු කර බැලිය හැකි ය. එදා සෑම ගෙවත්තක ම එළවළු ,පලතුරු වවා තම ගෘහ පරිභෝජනයට ගත් අතර ඒවා අලෙවි කිරීම තුළින් ද නිවසේ ආර්ථිකයට වාසියක් ලැබුණි. නමුත් අද එවැනි තත්ත්වයන් දකින්නට ලැබෙන්නේ ද කලාතුරකිනි. අද මිනිසා ආහාරයට ගන්නා ආහාර පාන රසකාරකවලින් මිශ්‍ර ය. එමෙන් ම අද මිනිසාගේ පහසුවට ක්ෂණික ආහාරවලට නැඹුරු වීමේ ප්‍රවණතාවය ද ඉතා ඉහළ ය. එදා අල, බතල ,කොස් ආදී ආහාරවලින් කෑම වේල පිස ගන්නා ලදි. එදා කොස්වලින් වේලක් පිරිමසාගත්ත ද අද ගස් යට කොස් වැටී කුණු වී යයි. අටු කොස්, වැලි කොට අද දරුවන් පවා නොදන්නා දෙයකි. රසකාරක ආදිය දමා පිසූ ආහාර පාන ආදියට හුරු වූ අද බොහෝ පුද්ගලයන්ට දියවැඩියාව ,අධි රුධිර පීඩනය ,කොලෙස්ටරෝල් ආදී රෝග තත්ත්වයන්ට ගොදුරු වී ඇති බවක් දැකිය හැකි ය.
මීට අමතර ව කාර්මීකරණය වූ වත්මන් සමාජයක හඳුනා ගත හැකි අයහපත් ප්‍රතිඵලයන් එමට ය. පරිසර දූෂණයේ මූලාරම්භය වූ එක් අංශයක් වන්නේ පොලිතින්, ප්ලාස්ටික් භාවිතයට ගැනීම යි. අද ලෝකයේ සෑම භාණ්ඩයක් ම පොලිතින්, ප්ලාස්ටික්වලින් තොර නැත. එය අවසානයේ එකතු වනුයේ පරිසරයට ය. එය පරිසරයට මෙන් ම මනුෂ්‍ය ජීවියාට ද විශාල ගැටලු ඇති කරවන්නකි. පරිසර දූෂණයේ තවත් අංශයක් නම් ජනගහණයේ වර්ධනයත් සමඟ ඉඩම් කැබලි වීම යි. එ තුළින් වනගහණය අඩු වීමත් නිසා දුර්ලභ සත්ත්ව විශේෂ වඳ වීමත්, ගස් කැපීම ආදිය නිසා නායයාම් ආදී ස්වාභාවික විපත් රැසකට මුහුණ දීමට සිදු වී ඇත.
මේ ගැටලු කීපයක් පමණි.
මේ ගැටලු කීපයෙන් හෝ මිදීමට අපට කළ හැකි දේ නම් මිනිසාගේ ආකල්ප වෙනස් කිරීම යි.ක්ෂණික ආහාර ද්‍රව්‍ය ගැනීම අඩු කිරීම පොලිතින් භාවිතය අඩු කර ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගැනීම සිදු කළ හැකි ය. ගස් වැවීම වැඩි කර රසායනික පොහොර වෙනුවට කොම්පෝස්ට් වැනි පොහොර භාවිත කළ හැකි ය. පාසල් දරුවන්ට කුඩා කළ සිට ම මේ පිළිබඳ අවබෝධයක් ලබා දී නිවැරදි පිළිවෙත්වලට හුරු කිරීම කළ හැකි ය. මෙහිදී වත්මන් රජයට මේ සඳහා මැදිහත් වීම සිදු කරමින් ඒ සඳහා දායකත්වය ලබා දිය හැකි ය. එමඟින් කාර්මීකරණය තුළින් වැනසෙන අපේ ලෝකය ආරක්ෂා කිරීමේ උතුම් කාර්යයට අපිට ද දායක වීමට හැකියාව ලැබෙනු ඇත.
( 2018/ 08/ 20 )
( දිනිති හසින්තා )
( කැලණිය විශ්ව විද්‍යාලය )
Subscribe to:
Post Comments (Atom)
ජාතිවාදී පිළිලය
"එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා" කියා අපි රටේ ජාතික ගීය කිව්වට තේරුමක් ඇතුවයි ඒක කියන්නේ කියලා හිතනවද ? එහි ලොකු තේර...

-
කෙමෙන් කෙමෙන් අඳුර ගලා ආවද ඒ ගැන කිසිදු තැකීමක් නොකොට සුද්දි සහ හාමිනා පාර දිගේ හෙමිහිට පියවර මැන්නේ තම නිවෙස් කරා යාමට ය.මඟ දිගට පාරේ හමු ව...
-
ආදරය කියන වචනෙ ඇතුළෙ ලොකු තේරුමක් තියෙනවා.ඒත් ඒ තේරුම ගොඩක් අය තේරුම් ගන්නෙ වැරදියට.ඒ හින්ද අද ගොඩක් දෙනා ආදරයට වෛර කරනවා. සමහරු ඒ හින්ද ...
-
ප්‍රශ්න වලට විසඳුම් නොසොයා ප්‍රශ්න වලින් පලා ගොස් සොයල්ලෝ ම දිවි හානි කර ගත්තේ නම් අද ලෝකයේ කිසිදු මනුෂ්‍ය රුවක් දැක ගත නොහැකි වනු ඇත.ප්‍රශ්...
No comments:
Post a Comment