Powered By Blogger
Smile is a good reaction to the Dark World.....Keep it up every time....


Saturday, June 23, 2018

සොබාදහමට ආදරය කරන ඔබ වෙනුවෙන්,,,

අප අවට ඇති මේ සියල්ල අපගේ නොව සොබාදම් මාතාවගේ නිර්මාණයන් ය.මේ සියල්ල හැඩ ගැන්වීමේ ලා මනුෂ්‍ය ප්‍රජාව මූලික වුව ද සොබාදහමට විරැද්ධ ව යාම ලෝක විනාශයට පාර කියන්නක් බව අමුතුවෙන් කිව යුතු නැත.අප මේ දකින අහස,අපි මේ සිටින පොළොව,මේ හමන සුළඟ,මේ ගන්න හුස්ම ආදී  සියල්ල සොබා දහම සමඟ බැඳුණු නිර්මාණයන් ය.ආදි මිනිසා සොබා දහමට දේවත්වයේ ලා සළකා තිබෙන්නේ එහෙයිනි.ගස්,ගල්,ඉර,වැස්ස ආදියට දෙවියන් සේ සළකමින් ඒවාට ඔවුන් පුද සත්කාර කළේ ඒවාට කළ ගුණ දැක්වීමේ අරමුණෙ නි.
එකල මිනිසාගේ නිවහන වූයේ වනාන්තරය යි.වනයේ පල වැල ආහාරයට ගනිමින් ඔවුන් වන සතුන්ට ආදරය කරමින් රිසි සේ කල් ගත කළහ.ඔවුන්ට සියලුම අවශ්‍යතා සපුරා ගැනීමට වනාන්තරයේ සම්පත් ප්‍රමාණවත් විය.එකල මානවයා පරිසරයට මෙතරම් සමීප වූයේ ඔවුන්ගේ ජීවිතයේ පැවැත්ම රඳා පවතිනුයේ සොබා දහම නිසා බව ඔවුන් දන්නා නිසාම ය.
සොබා දහමේ අනාගතය රඳා පවතින එක් ප්‍රධාන සාධකයක් ලෙස වනාන්තර හඳුන්වා දිය හැකි ය.වනාන්තර යන්නෙන් ගත් විට ම අපට හැඟෙනුයේ තුරුලතාවලින් ගහණ වූ පරිසරයක් ලෙස ය.නමුදු ඊට එහා ගිය අරුතක් සහිතව හඳුන්වා දීමක් ඊට ලබා දීම වටිනේ ය.ඒ අනුව,

"තුරුලතාවලින් හැඩ ගැන්වුණු, සතා සිපාවගේ හඬ එක්වුණු ,සිසිල් මද පවන් පහස ලැබෙන, හිරු කිරණින් ආලෝකමත් වුණු, දිය ඇළි ගංඟාවලින් චමත්කාර වුණු, විකසිත කුසුම්වලින් සුවඳවත් වුණු ඔබේත් මගේත් ජීවනාලියක උරුමය - වනාන්තරයි."

සොබාදහමට නැතුව ම බැරි අංගයක් වූ මේ වනාන්තර හරහා ලොවට සළසන මෙහෙය අති මහත් බව කිව යුතුම ය.සොබා දහමේ අපූර්වතම නිර්මාණයක් වූ මේ වන සම්පත මනුෂ්‍ය ප්‍රජාවගේ මෙන් ම සත්ත්ව සංහතියේ ම ප්‍රාණය සුරැකීමට ඉවහල් වේ.අප පිට කරන කාබන්ඩයොක්සයිඩ් වායුව උරා ගනිමින් අපට ආශ්වාස කිරීමට සුපිරිසිදු ඔක්සිජන් වායුව ලබා දෙනුයේ අන් කවරෙකුත් නො ව තුරු ලතාවන් ය.මේ සියල්ල සිදු වනුයේ සොබා දම් මාතාවගේ අනු දැනුමෙනි.
නමුත් මොහොතක් සිතා බැලිය යුතු කරුණක් පවතී.එනම් මිනිසාට මෙතරම් උපකාර කරන සොබාදහමට මිනිසා කළ ගුණ දක්වන අයුරු සාධාරණ ද? කිසිසේත් නැත.අද සමාජයේ ජීවත් වන කෲර මිනිසා සොබාදහම පිළිබඳව කිසිදු තැකීමක් නොකොට එය විනාශ කරමින් සිදු කරනුයේ අහස පොළොව නුහුලන අපරාධයකි.අයෙක් ගහ කොළ කපා ඒවා අලෙවි කරමින් මුදල් උපයති.අයෙක් වන විනාශ කරමින් ගොඩනැගිලි නිර්මාණය කරති.අයෙක් සංවර්ධනය උදෙසා අවශ්‍ය මහා මාර්ග, කර්මාන්ත ශාලා ඉදි කිරීමට වනාන්තර එළි පෙහෙළි කරති.මේ සියල්ල පෘථිවි අභ්‍යන්තරයේ සිදුවන විනාශය න් ය.මේවාට වග කිව යුත්තේ අන් කිසිවෙක් නො ව මනුෂ්‍ය වර්ගයා ය.තම උවමනාවන් පමණක් සාක්ෂාත් කර ගනිමින් ආත්මාර්ථකාමී ලෙස සොබා දහම විනාශ කිරීම මහත් පාප කර්මයකි.මෙවන් විනාශයන් සිදු කිරීමෙන් අනාගතයේ අපිට කාන්තාර භූමියක් පමණක් ඉතුරු වනු ඇත.සොබාදහමට සිදු කරන මේ අපරාධයන්ට කෙදිනක හෝ දඬුවම් විඳීමට ම සිදු වනු ඇත.

එනිසා අප සොබා දහම සමඟ ගණු දෙනු කළ යුත්තේ ඉතා ප්‍රවේශමෙනි .තිරසාර සංවර්දනයෙලා කියවෙන ආකාරයට,

"වර්තමානයේ අප සම්පත් පරිභෝජනය කළ යුත්තේ අනාගත පරම්පරාවේ සම්පත් පරිභෝජනයට බාධාවක් නොවන ආකාරයට ය."

ඒ ආකාරයට සම්පත් පරිභෝජනය කරන්නේ නම් අපට අනාගතය පිළිබඳ ව කිසි සේත් බිය විය යුතු නැත.එනිසා සොබාදහම අපගේ මිතුරෙකු කොට ගත යුතු ය.ඊට ආදරය කළ යුතු ය.එක් ගසක් කැපුවහොත් ඊට සරිලන ලෙස ගස් සියයක් සිටුවිය යුතු ය යන කියමන සිහි තබා ගත යුතු ය.සොබාදහම විනාශ වූ පරිසරයක අපිට කිසිසේත් ජීවත් විය නොහැකි සේ ම සොබාදහමකින් තොර ලෝකයක් පිළිබඳ ව සිතීමටවත් නොහැකි ය.එනිසා සොබාදහමට අනුකූලව ජිවත් වීමට අප කුඩා කළ සිට ම පුරුදු පුහුණු විය යුතුය.ඊට සැමදා ගරු කළ යුතු ය.එවිට සොබාදහම කිසිදා අපගෙන් ඈත් වී නොයනු ඇත.

(2018/06/23)
(දිනිති හසින්තා)

No comments:

Post a Comment

ජාතිවාදී පිළිලය

"එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා" කියා අපි රටේ ජාතික ගීය කිව්වට තේරුමක් ඇතුවයි ඒක කියන්නේ කියලා හිතනවද ? එහි ලොකු තේර...